මහනුවර හා ගාල්ල ලැබූ ජයෙන් එන්.එස්.එල්. පිටිය සමබර වේ

129

හෙට තවත් තරග දෙකක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ පළමු තරඟ 6 අවසානයේ කණ්ඩායම් 5 ම එක් තරගයක් බැගින් ජයගෙන ප්‍රසාද ලකුණු 2 බැගින් හිමි කරගෙන සිටී.

එහිදී සෑම කණ්ඩායමක්ම එක් තරගය බැගින් පරාජයට පත් වී ඇත.

තරගාවලියේ මීළඟ තරගය හෙට (03 වැනිදා) යාපනය සහ ගාල්ල අතරත් නුවර සහ දඹුල්ල අතරත් පැවැත්වීමට නියමිතය.

එම තරග දෙක පිළිවෙළින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කණ්ඩායම් පහම ප්‍රසාද ලකුණු දෙක බැගින් ලබා ගෙන සිටියද ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වීමට නුවර කණ්ඩායම සමත් වී ඇත.

ඔවුන්ට හිමි ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය 1.780ක් වේ.

කොළඹ කණ්ඩායම දෙවන ස්ථානයේද, තෙවන සහ සිව්වන ස්ථාන පිළිවෙළින් දඹුල්ලට සහ යාපනයට හිමි වී ඇත. ගාල්ල කණ්ඩායම පස්වැනි ස්ථානයේ පසුවේ.

පෙරේදා පැවැති කොළඹ හා මහනුවර පළාත් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 6ක ජයක් මහනුවර පිලට හිමිවූ අතර, දඹුල්ල – ගාල්ල අතර තරගයෙන් ගාල්ල පිල කඩුලු එකක ජයක් වාර්තා කිරීමට සමත් වූවේය.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ හා මහනුවර අතර තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීමට මහනුවර පිල තීරණය කළ අතර, කොළඹ පළාත් පිල ලකුණු 215ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 6කට ලකුණු 221ක් ලබා ජය වාර්තා කළහ.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිල මුලින් පන්දුවට පහර දීමට තීරණය කොට ලකුණු 241ක් ලබාගත් අතර, ගාල්ල පළාත් පිල කඩුලු 9කට ලකුණු 242ක් ලබා ජයග්‍රහණය සනිටුහන් කළේය.

මෙම තරග දෙකේදී වාර්තා වූ එකම ශතකය දඹුල්ල පිලේ නායක මිනෝද් භානුක පන්දු 116කදී හයේ පහරක් හා හතරේ පහර 14ක් සමඟ ලකුණු 102ක් රැස්කිරීමට සමත් වූවේය.

ගාල්ල පිලේ නායක දුනිත් වෙල්ලාලගේ, ෂෙහාන් ප්‍රනාන්දු, ළහිරු සමරකෝන්, මහනුවර පිලේ නායක නිරෝෂන් දික්වැල්ල, කමීල් මිෂාර, සහන් ආරච්චිගේ හා කොළඹ පිලේ විෂාද් රන්දික අර්ධ ශතක වාර්තා කළහ.

කොළඹ පළාත් පිල සියලු දෙනා දැවී ලකුණු 215 (ඕවර් 46.4)

ක්‍රිෂාන් සංජුල 25, චමිදු වික්‍රමසිංහ 40, දුෂාන් විමුක්ති 48, නුවනිඳු ප්‍රනාන්දු 11, විෂාද් රන්දික නොදැවී 59, ඉසිත් දේව් විජේසුන්දර 11 (ළහිරු කුමාර 27/3, වනුජ සහන් 39/2)

මහනුවර පළාත් පිල කඩුලු 4කට ලකුණු 221 (ඕවර් 42)

නිරෝෂන් දික්වැල්ල 50, කමීල් මිෂාර 63, සහන් ආරච්චිගේ නොදැවී 58, අහන් වික්‍රමසිංහ 17, චාමික කරුණාරත්න නොදැවී 20 ( ප්‍රභාත් ජයසූරිය 26/2)

ගාල්ලට ජය

දඹුල්ල පළාත් පිල සියලු දෙනා දැවී ලකුණු 241 (ඕවර් 48.3)

මිනොද් භානුක 102, ලසිත් කෲස්පුල්ලේ 12, පවන් රත්නායක 12, සොනාල් දිනූෂ 18, දුෂාන් හේමන්ත 21, ලක්ෂාන් සඳකැන් 38, අතිරේක 23 (මිලාන් රත්නායක 36/3, නිමේෂ් විමුක්ති 24/2, දුනිත් වෙල්ලාලගේ 49/2)

ගාල්ල පළාත් පිල කඩුලු 9ක් දැවී ලකුණු 242 (ඕවර් 47.1)

ෂෙහාන් ප්‍රනාන්දු 67, පසිඳු සූරියබණ්ඩාර 15, ධනංජය ලක්ෂාන් 34, දුනිත් වෙල්ලාලගේ 52, ළහිරු සමරකෝන් නොදැවී 53, අතිරේක 15 (විශ්ව ප්‍රනාන්දු 40/2, ලක්ෂාන් සඳකැන් 60/3

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment