මහින්දානන්දලාට එරෙහි දාම් – කැරම් බෝඩ් නඩුව:

1

විත්තියේ සාක්ෂි නොකැඳවා අවසන් කරනවාද නියෝගය 9දා

2015 ජනාධිපතිවරණ සමයේදී පාසල් අතර බෙදාදීම සඳහා ලංකා සතොස හරහා ආනයනය කරන ලද රුපියල් කෝටි හයකට ආසන්න වටිනාකමක් ඇති දාම් හා කැරම් ක්‍රීඩා උපකරණ වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමේ චෝදනා යටතේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හා වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව, විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව අවසන් කරන්නේ ද නැති ද යන නියෝගය ලබන 9 වැනිදා නිකුත් කිරීමට, බස්නාහිර පළාත්බද දෙවන ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (01දා) දින නියම කළේය.

සිය සේවාදායකයන්ට එරෙහිව නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට තීරණය කර, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙස, ජනාධිපති නීතිඥ අනිල් සිල්වා හා ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ යන මහත්වරු පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව ඉල්ලා සිටියහ. එම ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර කොමසාරිස් ජනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය විරුද්ධත්වය දැක්වූවාය.

එම නඩුව අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment