රටේ ආර්ථිකය පිළිබඳ නිල තොරතුරු ඇතුළත් කරමින් වාර්ෂිකව නිකුත් කෙරෙන ප්‍රධානතම වාර්තාව වන්නේ මහ බැංකුවේ වාර්ෂික වාර්තාවයි. නව මහ බැංකු පනතත් සමග මේ වාර්තාව හඳුන්වන්නේ ‘වාර්ෂික ආර්ථික විවරණය’ යනුවෙනි. මෙය 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 80 වැනි වගන්තිය යටතේ ප්‍රකාශනය වන්නකි. මේ 2024 වසර සඳහා වන වාර්ෂික ආර්ථික විවරණය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගිය අප්‍රේල් 07 දින පිළිගන්වන ලදී. මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනි කේ. එම්. ඒ. එන්. දවුලගල, සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂිකා ආචාර්ය එස්. ජෙගජීවන්, ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය එල්. ආර්. සී. පත්බේරිය සහ ආචාර්ය වී. ඩී. වික්‍රමාරච්චි යන මහත්ම මහත්මීන් ද සහභාගි වී සිටියහ. මේ වාර්ෂික ආර්ථික විවරණයේ ඇතුළත් ප්‍රධාන කරුණු ගැන මේ ලිපියෙන් අපගේ අවධානය යොමුවේ.
මේ ආර්ථික විවරණ වාර්තාව (2024) නිකුත් වීම නිමිත්තෙන් මහ බැංකුව නිකුත් කළ නිල නිවේදනයේ ආරම්භයේම මෙසේ සඳහන් වේ.
“වසර දෙකකට පෙර අත්විඳින ලද දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසුව, 2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරව යථා තත්ත්වයට පත් වීම අඛණ්ඩව සිදු විය. යථා තත්ත්වයට පත් වීමේ මාවත දුෂ්කර වුවද, අධික ණය බර හේතුවෙන් පීඩාවට පත් වූ බොහෝ රටවලට සාපේක්ෂව, එය සැලකිය යුතු ලෙස වේගවත්ව සිදු විය. අර්බුදයෙන් පසු ක්‍රියාවට නැංවූ ප්‍රතිසංස්කරණවල ධනාත්මක ප්‍රතිඵල පෙන්නුම් කිරීම ආරම්භ වී ඇත. ආර්ථික ක්‍රියාකාරකම්වල වැඩිදියුණු වීම, මිලදී ගැනීමේ හැකියාව යම් දුරකට යථා තත්ත්වයට පත්වීම සහ අවිනිශ්චිතතා අඩු වීම පිළිබඳ සලකුණු දක්නට ලැබේ. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍්‍රියාත්මක වීම සහ ප්‍රතිපත්ති නොවෙනස්ව පවත්වා ගෙන යෑම පිළිබඳව වූ පැහැදිලිභාවයත් සමග, මැතිවරණ ආශ්‍රිත අවිනිශ්චිතතා 2024 වසරේ අගභාගය වන විට පහව ගියේය. මේ සමගම, විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම බොහෝ දුරට අවසන් වීම සහ “සීමිත පැහැර හැරීමේ” ශ්‍රේණිගත කිරීමෙන් රට ඉවත්වීම ආයෝජකයන්ගේ සහ පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය වැඩිදියුණු කිරීමට සමත් වී ඇත.”
මේ කියන දරුණුතම ආර්ථික පසුබෑමට රට ලක් වූයේ 2022 වසරේ දීය. මේ නිසා විදේශ සංචිත නොමැතිකමින් විදේශ ණය පවා ගෙවාගත නොහැකිව තෝරාගත් විදේශ ණය ගෙවීම පවා තාවකාලිකව නතර කිරීමට ද ආණ්ඩුවට සිදුවිය. මේ කාලයේ ජනතාව අසීමිත පීඩාවට ලක් වූ බව ද සියලු දෙනාම දන්නා කරුණකි. මේ තත්ත්වය බොහෝ දෙනෙක් හැඳින්වූයේ රට බංකොලොත් වීමක් ලෙසයි. මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව දියත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන නිසා මේ වන විට ආර්ථිකය සැලකිය යුතු දුරකට ස්ථාවර තත්වයකට පත්ව ඇත. ආර්ථිකය ස්ථාවර වුවත් මහජනයා බොහෝ ආර්ථික පීඩනයකට ලක්ව සිටින බව රහසක් නොවේ. එහෙත් අධික ණය බර හේතුවෙන් පීඩාවට පත් වූ බොහෝ රටවලට සාපේක්ෂව අපේ වැටුණු ආර්ථිකය යථාවත් වීම බොහෝ වේගවත්ව සිදුව ඇත. මේ ගැන මහ බැංකුව මෙසේ ද කියයි.
“රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ආර්ථික අර්බුදයෙන් රට යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා පැහැදිලි සහ ශක්තිමත් පියවර ක්‍රියාත්මක කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්න ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ මාවතේ වැදගත් ම අංග වේ. නැවත ස්ථාවරත්වයට පත් වීම සඳහා අවශ්‍ය ප්‍රධාන ප්‍රතිසංස්කරණ බොහොමයක් සාර්ව ආර්ථික ගැළපුම් වැඩසටහනේ මුල් අවධියේදීම සම්පූර්ණ කිරීම විශේෂිත කරුණකි. මේ දක්වා ආර්ථිකය සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇතත්, තව බොහෝ දුරක් යා යුතුව ඇත. වර්තමානයේ දී සාර්ව ආර්ථික ස්ථාවරත්වය බොහෝ දුරට යථා තත්ත්වයට පත් වී ඇති බැවින්, සියලුම පුරවැසියන්ගේ සමෘද්ධිමත්භාවය සහතික කරන රටේ දිගුකාලීන වර්ධනය සඳහා බෙහෙවින් අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඇති කැපවීම ඉතා වැදගත් වේ.”
අයිඑම්එෆ් වැඩසටහන සමග වසර දෙකක් පැමිණ එහි සාර්ථක ප්‍රතිපල ආර්ථිකය අත්කරගෙන තිබේ. ඒ අනුව ජනතාව තවමත් අමාරුවෙන් ජීවත් වන නමුත් රටේ සමස්ත ආර්ථික තත්ත්වය යම් ස්ථාවර තත්ත්වයකට පත්ව ඇත. එහෙත් 2022 දී රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් රට තවමත් මුළුමනින්ම මිදී නැති නිසා අපට මේ ගමන් කරන මාර්ගයේ අයිඑම්එෆ් සහාය ඇතිව තවත් ගමන් කළ යුතුව තිබේ. මේ අනුව නවතම මහ බැංකු ආර්ථික විවරණ වාර්තාව කියන්නේ ‘තව බොහෝ දුරක් යා යුතුව ඇත’ යනුවෙනි. එනම් මූලික වශයෙන් අයිඑම්එෆ් වැඩසටහන සමග ඊට අනුගතව අපට තවත් වසර දෙකක පමණ කාලයක් යාමට තිබේ. ඒ කාලය තුළ ද අපට එම අයිඑම්එෆ් වැඩසටහනේ එකඟතා සපුරමින් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑමට සිදුවෙනු ඇත. බදු ආදායම් තවත් වැඩි කර ගැනීමට ද සිදුවනු ඇත. මේ වන විට රට ඍණ ආර්ථිකයකින් ධන ආර්ථිකයකට පරිවර්තනය වී ඇති නිසා ආර්ථික ක්‍රියාකාරිත්වය වැඩි කර ගනිමින්, ආර්ථික වර්ධනය තවත් වේගවත් කර ගැනීම ද අවශ්‍ය වනු ඇත. තවමත් අමාරුවෙන් ජීවත්වෙන බහුතර ජනතාවගේ ආදායම් මට්ටම් ක්‍රමයෙන් වර්ධනය වනු ඇත්තේ එවිටය. ගිය වසරේ (2024) දී ආර්ථිකය සියයට 5 කින් වර්ධනය වී ඇත. මහ බැංකුව කියන්නේ 2024 වසරේ ආර්ථික ක්‍රියාකාරිත්වය අපේක්ෂා කළාට වඩා කාර්යසාධනයක් පෙන්නුම් කළ බවයි. මේ අනුව ‘ආර්ථික වර්ධනය පිළිබඳව සලකා බැලූ විට, ශ්‍රී ලංකා ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා යහපත් කාර්යසාධනයක් 2024 වසරේ දී පෙන්නුම් කළේය.’ යනුවෙන් මේ නවතම ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වේ. එහි 2024 වසරේ ආර්ථික වර්ධනය ගැන මෙසේ සඳහන් වේ.
“ශ්‍රී ලංකා ආර්ථිකය, අඛණ්ඩව වසර දෙකක් පුරා පැවති සංකෝචනයෙන් පසුව, 2024 වසරේ දී 5.0%ක මූර්ත ආර්ථික වර්ධනයක් වාර්තා කළේය. මෙම ධනාත්මක ප්‍රවණතාව වසර මුළුල්ලේ ම දක්නට ලැබුණු අතර, 2017 වසරෙන් අනතුරුව ප්‍රථම වතාවට, කාර්තු හතරෙහි ම දළ දේශීය නිෂ්පාදිතයෙහි වර්ධනයන් මෙම වසර තුළදී වාර්තා විය. මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් කර්මාන්ත අංශයේ දායකත්වය හේතු වූ අතර, එහිදී නිෂ්පාදන කර්මාන්ත සහ ඉදිකිරීම් කටයුතුවල ඉහළ වර්ධනය කැපී පෙනුණි. එසේම, නවාතැන් සැපයීමේ සහ ප්‍රවාහන සේවාවල අඛණ්ඩ වර්ධනය හේතුවෙන් සේවා කටයුතු ද සමස්ත වර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් දැක්වූ අතර, කෘෂිකාර්මික කටයුතු ද ධනාත්මකව දායක විය. පවත්නා වෙළඳපොළ මිල අනුව ද.දේ.නි. 2024 වසරේ දී රුපියල් බිලියන 29,898.6ක් දක්වා ඉහළ ගිය අතර, මේ සඳහා මූර්ත ආර්ථික වර්ධනය මෙන්ම 3.8%ක් වූ දදේනි. ගම්‍ය අවධමනයක ද හේතු විය. තවද, ද.දේ.නි. සඳහා ශුද්ධ විදේශීය ප්‍රාථමික ආදායම ගැළපීම මගින් ඇස්තමේන්තු කරනු ලබන දළ ජාතික ආදායම ද 2024 වසරේ දී පවත්නා වෙළඳපොළ මිල අනුව රුපියල් බිලියන 29,153.9ක් දක්වා ඉහළ ගියේය. එ.ජ. ඩොලර් වටිනාකම අනුව දළ දේශීය නිෂ්පාදිතය, 2023 වසරේ වාර්තා කළ බිලියන 83.8 සිට 2024 වසර වන විට බිලියන 99.0ක් දක්වා ඉහළ ගියේය. පවත්නා වෙළඳපොළ මිල අනුව ද.දේ.නි.හි ඉහළ යෑම සහ මධ්‍ය වාර්ෂික ජනගහනය පහත වැටීම හේතුවෙන් 2023 වසරේ දී රුපියල් 1,244,262 ක් වූ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2024 වසරේ දී රුපියල් 1,364,235ක් දක්වා ඉහළ ගියේය. මේ අතර, 2023 වසරේ දී රුපියල් 1,206,441ක් වූ ඒක පුද්ගල දළ ජාතික ආදායම 2024 වසරේ දී රුපියල් 1,330,255ක් දක්වා ඉහළ ගියේය. රුපියල් වටිනාකම අනුව නාමික දළ දේශීය නිෂ්පාදිතය බලශක්ති මිල ගණන් පහළ දැමීම ප්‍රධාන වශයෙන් හේතු කොටගෙන උද්ධමනය අඩු වූ අතර, 2024 සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව අවධමනයක් වාර්තා කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය එහි ඉලක්කගත මට්ටමට වඩා පහළ ගියේය. අඩු පොලී අනුපාතිකවල සහාය ඇතිව 2024 වසරේ දී ගෘහ ඒකක සහ ව්‍යාපාර සඳහා ණය ලබා දීම වර්ධනය විය. වසංගතය පැවති සමයේ සහ ඉන් අනතුරුව ආර්ථික අර්බුදය හමුවේ අහිමි වූ ආර්ථිකයේ නිමැවුම යම්තාක් දුරකට නැවත අත්පත් කර ගනිමින්, ලිහිල් මුදල් තත්ත්වයන් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් වේගවත්ව යථා තත්ත්වයට පත්වීම සඳහා සහාය විය. මේ අතර, වසර තුළ දී විදේශීය අංශයේ කාර්ය සාධනය ශක්තිමත්ව පැවතුණි. රටට ලැබෙන ශුද්ධ විදේශ විනිමය ගලා ඒම් වැඩි වීමත් සමග බාහිර ස්වාරක්ෂකවල සැලකිය යුතු දියුණුවක් දක්නට ලැබුණි. විදේශීය ජංගම ගිණුමේ අතිරික්තයක් අඛණ්ඩව වාර්තා විය. පවතින නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය විය. විනිමය අනුපාතිකය අතිප්‍රමාණය වීමේ ප්‍රතිලාභ ආනයනවල මිල ගණන් අඩු වීම හරහා පාරිභෝගිකයින් වෙත ලැබුණ ද, එය විදේශ විනිමය උපයන්නන් කෙරෙහි ඍණාත්මක බලපෑම් ඇති කළේය. 2024 වසරේ දී රාජ්‍ය මූල්‍ය අංශයේ කාර්ය සාධනය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වූ අතර ප්‍රාථමික ශේෂය අඛණ්ඩව දෙවන වසරටත් අතිරික්තයක් වාර්තා කළේය.”
මෙසේ ගිය වසරේ සියයට 5 ක ඉහළ ආර්ථික වර්ධනයක් වාර්තා කළත් ඒ සඳහා බලපෑ ඇත්තේ ඊට පෙර වසර දෙකේ (2022 සහ 2023) වාර්තා කළ ආර්ථික පසුබෑම නිසා දළ දේශීය නිෂ්පාදිතයේ අඩුවීම බවට සැකයක් නැත. අඩු නිෂ්පාදන පදනමක සිට ආර්ථික වර්ධනය ගණනය කරන විට ඉහළ වර්ධන අගයක් ලැබෙන නමුත් දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම අනුව අප තවමත් සිටින්නේ, 2018 වසරට වඩා පසුපසින් බව අප මීට පෙරත් සාකච්ඡා කර ඇත. මේ නිසා අපගේ ආර්ථික ක්‍රියාකාරිත්වය වේගයෙන් වර්ධනය කරගත යුතුව ඇත. කෙසේ වෙතත් ඇමෙරිකාවේ නව බදු පැනවීම අනුව එම තත්ත්වය අපගේ ආර්ථිකයට, ආර්ථික වර්ධන අපේක්ෂාවන්ට සහ අපනයන වෙළෙඳාමට (විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තයට) දැඩි බලපෑමක් ඇතිවන ලකුණු පෙනෙන්නට තිබේ. මෙය අප රටට පමණක් නොව ලෝකයේ රටවල් රැසකටම බලපාන කරුණක් වන නිසා මෙය අද ලෝකයේම බලවත් සංවාදයකට ලක්ව ඇති ප්‍රධානතම කරුණකි. මේ ගැන අදාළ බදු වැඩි කිරීම්වලට ලක්ව ඇති රටවල් ඇමෙරිකානු රජය සමග සාකච්ඡා කිරීමට ද යොමුව ඇත. ඒ අනුව ඉදිරි කාලයේ දී මේ බදු අනුපාතයේ යම් යම් වෙනස්කම් වීමට ඉඩ තිබේ. එසේ ඇතිවෙන නව වෙනස්කම් අනුව අපට මෙන්ම ලෝකයේ වෙනත් රටවලට ද මේ ඇමෙරිකානු තීරු බදු වැඩි කිරීමේ බලපෑමේ ප්‍රමාණය සහ මට්ටමේ වෙනස්කම් සිදුවනු ඇත. එය තවමත් අපට නිශ්චිතව සඳහන් කළ නොහැකිය. කෙසේ හෝ අප උත්සාහ කළ යුතු වන්නේ මේ බදු පැනවීමේ බලපෑමේ ප්‍රමාණය අවම කර ගැනීමටය. අපගේ අපනයන වෙළෙඳාම ඇමෙරිකානු වෙළෙඳපොළ මත දැඩි රඳා පැවැත්මක් ඇති බවත් ඒ නිසා අපගේ අපනයන වෙළෙඳාම විවිධාංගීකරණයකට ලක් විය යුතුව ඇති බවත් අප මේ වන විට සෑහෙන කලක සිට කියන දෙයකි. එහෙත් පසුගිය කාලයේ අපගේ අපනයන වෙළෙඳාමේ එවැනි වෙනසක් සිදුකර ගැනීමට අප අපොහොසත් වීම නිසා ඇමෙරිකාවේ මේ නව බදු තීරණය හමුවේ එහි විපාක වැඩි වශයෙන් විඳීමට අපට සිදුව ඇත.
2023 වසරේ දී ලබාගත් ප්‍රගතිය මත පදනම්ව, මහ බැංකුවේ ප්‍රතිපත්ති මගින් දේශීය මිල ස්ථායීතාව සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ඒ අනුව නම්‍යශීලි උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ වන ප්‍රමුඛතාවන්ට අනුකූලව, අඩු උද්ධමන ඉදිරි දැක්ම සැලකිල්ලට ගෙන දේශීය ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහාය වෙමින් මහ බැංකුව අඛණ්ඩව ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වා ගෙන ගොස් ඇත. මේ අතර, විදේශීය අංශයේ යහපත් කාර්ය සාධනය හේතුවෙන් ආනයන සහ ප්‍රාග්ධන ප්‍රවාහ සඳහා තවදුරටත් පැවති සීමා, මහ බැංකුවේ උපදෙස් ද සලකා බලමින්, රජය විසින් ක්‍රමානුකූලව ඉවත් කර තිබේ. අයිඑම්එෆ් සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දුෂ්කර වුවත් එය අත්‍යවශ්‍ය එකකි. එනම් 2022 වසරේ දී මුහුණ දුන්, පෙර නොවූ අන්දමේ අර්බුදයෙන් පසු, රට තුළ ගැඹුරින් මුල් බැසගත් ව්‍යුහාත්මක දුර්වලතා නිවැරදි කිරීම ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි අරමුණ වීම නිසාය. කෙසේ හෝ මෙහි බලපෑම් ද හේතුවෙන් රටේ දිළිඳු ජනකොටස වර්ධනය වී තිබේ. මේ නිසාම අස්වැසුම ඇතුළු සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් දිළිඳු සහ අවදානමට ලක් විය හැකි ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීම කෙරෙහි ද රජයේ විශේෂ අවධානය යොමුව ක්‍රියාමාර්ග ගත්තේය. මේ අතරම දූෂණය හා සම්බන්ධ අවදානම් සඳහා විසඳුම් ලබා දීමට ද වත්මන් රජය විසින් ඉතා උනන්දුවෙන් පියවර ගනිමින් සිටී. අඩු උද්ධමනය හා අඩු පොලී අනුපාතික සහිත පරිසරයක් සමග ස්ථාවර මූල්‍ය අංශයක් මගින් ශ්‍රී ලංකා ආර්ථිකයට එහි විභවතාවයට ළඟා වීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කර ඇත. රජයන් වෙනස් වුවත් යම් ප්‍රතිපත්ති ස්ථාවරයක් අපට දැකගත හැකිය. ඒ අනුව සාර්ව ආර්ථික ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වා ගැනීම සමග ධනාත්මක වෙළෙඳපොළ අපේක්ෂා සහ පවතින ස්ථාවර දේශපාලන වාතාවරණය විසින් රටෙහි දියුණුවට අවශ්‍ය පරිසරය සකස් කර ඇති බව ද මහ බැංකුවේ මේ නව වාර්තාවේ දැක්වේ. එහෙත් බලවත් අවදානම් හා අවිනිශ්චිතතා ද නැතුවා නොවේ. ඒ ගැන ද මේ නවතම ආර්ථික විවරණ වාර්තාවේ මෙසේ සඳහන් වේ.
“ගෝලීය භූ දේශපාලනික අවිනිශ්චිතතා ඉහළ යෑම, විශේෂයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජිත තීරු බදු පැනවීම සහ එයින් ඇති විය හැකි වක්‍රාකාර බලපෑම් හේතුවෙන් විදේශීය අංශය සහ පුළුල් ආර්ථිකයේ ඉදිරි දැක්මට අහිතකර ලෙස බලපෑම් ඇති විය හැකිය. එබැවින්, අඛණ්ඩ විචක්ෂණශීලිභාවයකින් යුතුව ප්‍රතිපත්ති සම්පාදනය කිරීමෙහි සහ බාහිර සහ රාජ්‍ය මූල්‍ය ස්වාරක්ෂක තවදුරටත් ශක්තිමත් කිරීමෙහි දැඩි අවශ්‍යතාවක් පවතී.
ශ්‍යාම් නුවන් ගනේවත්ත