මහ මුහුදේ මිනී මරා ගැනීම

342

2024 ජුනි මස 30 වැනිදා ඉරිදා

ශ්‍රී ලංකාවට අයත් ඩෙල්ෆ්ට් දූපත් මුහුදු තීරයට බලහත්කාරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයන් පිරිසක් විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෙබළකු ඝාතනය කළ බව දැනගන්නට තිබේ. කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ සේවය කළ මේ සෙබළා අනවසර ඉන්දීය මසුන් මරන්නන් අපේ මුහුදු තීරයට පැමිණි විට ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා සෙසු නාවික සෙබළුන් සමග එක්ව මෙහෙයුමක් දියත් කර තිබේ. එහිදී නාවික සෙබළා ගමන් කළ යාත්‍රාව දෙසට වේගයෙන් පැමිණි ඉන්දීය මාළු බෝට්ටුවක් හදිසි අනතුරක් සිදුකර ඇත. නාවික සෙබළා මියයන්නේ මෙහිදීය. මේ මැර ධීවර කණ්ඩායම දස දෙනකුගෙන් සමන්විත අතර දැන් පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

ඉන්දියාව සහ ලංකාව අතර ප්‍රමුඛ ප්‍රශ්න කිහිපයක් දිගු කලක සිට පවතී. ඉන් පළමුවන කාරණාව වන්නේ ලංකාවේ ඊළාම් රාජ්‍යයක් සෑදීම සඳහා ඇතැම් ඉන්දියානු දේශපාලනඥයන් ව්‍යාපාරයක් ගෙන යෑමය. ඊට අමතරව ඉන්දියාවෙන් හොර බඩු ගෙන ඒමේත් ඉන්දියානු හොර වැසියන් මෙහි පැමිණීමේත් ජාවාරමක් තිබූ නමුත් දැන් ඒ දෙකම නැත. ඒ වෙනුවට ඉන්දියාවේ සිට ලංකාවටත් ලංකාවේ සිට ඉන්දියාවටත් ගංජා සහ කුඩු ප්‍රවාහනය සිදුවෙයි. දෙරට අතර ඇති තුන්වන ප්‍රශ්නය ලෙස කච්චතිව් දූපත් අර්බුදය සැලකිය හැකිය. අල්ලකට ස්වල්පයක් විශාල කච්චතිව් දූපත ඉන්දියාව මෙන්ම ලංකාවට ද ඉතාම වටී. කච්චතිව් දූපතෙන් කළ හැකි මළ මඟුලක් නැත. එහි ගහක් කොළක් නොවැවේ. එහෙත් මේ දූපත මේ දෙරටේම ආත්මාභිමානයේ සංකේතයකි. ඒ නිසා ඇතැම් කාලයකදී ඉන්දියාව මේ දූපත ලංකාවෙන් ඉල්ලයි. ලංකාව එය ඉන්දියාවට දෙන්නට බෑ කියයි. මේ දූපත ලංකාවට දෙන ලද්දේ ඉන්දිරා ගාන්ධි විසිනි. දූපතේ අයිතිය අපට පැවරෙන වෙලාවේදී ඉන්දිරා ගාන්ධි ඉන්දියානු අගමැතිනිය ලෙස කටයුතු කළාය. දැන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන අවසාන ප්‍රමුඛ ප්‍රශ්නය ගැන අපි සාකච්ඡා කරමු. ඒ ප්‍රශ්නය වූ කලී ඉන්දියානු ධීවරයන් ලංකාවේ මුහුදු තීරයට කඩා පැන හොරෙන් මාළු බාගෙන යෑමය. සමහරවිට ඉන්දියන් ධීවරයෝ මුහුද මැදදීම අපේ මාළු බෝට්ටුවලට අඩු මිලට මාළු විකුණති. මේ ගනුදෙනුව ලංකාවේ රුපියල්වලින් කරනු ලැබේ. තමිල්නාඩුවට ගිය විට ලංකාවේ රුපියල් ඕනෑ තරමක් ඉන්දියානු රුපියල්වලට හෝ ඇමරිකන් ඩොලර්වලට මාරු කළ හැකිය. සෑම රාත්‍රියකම ඉන්දියානු මාළු බෝට්ටු 5000 ක් පමණ අපේ මුහුදු තීරයට වැදී මාළු සොරකමේ නියුක්ත වෙති. මෙහි ඇති නරකම පැත්ත වන්නේ ඉන්දියානු ධීවරයන් විසින් bottom trawling ක්‍රමයට මාළු බෑමය. මේ මාළු බෑම සිදුකරන්නේ විශාල නැවකිනි. මේ නැව පතුලේ විශාල අවර පෙති සවිකර තිබේ. ඉන්දියානු බෝට්ටුකරුවෝ විශාල ලයිට් එකක් මුහුදු පතුලට එල්ලකර නැවේ යට ඇති අවර පෙතිවලින් කලඹවති. එවිට ඒ පළාතටම සිටින මාළුවෝ කසිප්පු බිව්වාක් බඳුව නන්නත්තාර වෙති. ඊළඟට ඒ මසුන් වටකර දැලක් එළන අතර ස්වල්ප වේලාවකින් ඒ අස්වැන්න ට්‍රෝලර් යාත්‍රාවට දමා ගැනීමට පුළුවන. මේ ක්‍රමයේදී පරිභෝජනයට ගන්නා මසුන් මෙන්ම පරිභෝජනයට

නොගන්නා දුර්ලභ මත්ස්‍යයෝ ද වෙනත් සාමුද්‍රික ජීවියෝ ද මිය යති. ඉන්දියාව සේතු සමුද්‍රම් නමැති සාමුද්‍රික නාවික ඇළ ලංකාව සහ ඉන්දියාව අතර මුහුදු තීරයේ හෑරීමට ගිය අවස්ථාවේදීද දුර්ලභ සමුද්‍ර ජීවීහු මරණයට පත්වූහ. අන්තිමේදී සේතු සමුද්‍රම් අත්හැර දැමීමට ඉන්දියාවට සිදුවිය. ඉන්දියන් ධීවරයන් ලංකා මුහුදේ ඇතිකරගත් ගැටුම්වලින් කවදාවත් කිසි කෙනෙක් මරණයට පත්වී නැත. පසුගියදා ඩෙල්ෆ්ට් මුහුදේදී සිදු වූ නාවික සෙබළා මැරීම ඒ වර්ගයේ පළමු ඝාතනයයි. මෙය ඉතාම නරක පූර්වාදර්ශයකි. මේ පූර්වාදර්ශය ඉස්සරහට ගියොත් මේ දෙරටේ මිනිසුන් මහා සාගරය මැද මිනී මරාගැනීම නොවැළැක්විය හැකිය. මෙරට මුහුදට එන ඉන්දීය මසුන් මරන්නන් මෙහෙයවන්නේ තමිල්නාඩුවේ මාළු මුදලාලිලා විසිනි. ඒ මුදලාලිලා තමිල්නාඩුවේ දේශපාලනඥයන්ට මුදලින් උදව් කරති. ඒ නිසා ඔවුන්ගේ රැකවරණය නිතරම මාළු මුදලාලිලාටත් ඉන්දියානු ධීවරයන්ටත් ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment