මානසික රෝග පෙන්වන ග්‍රහ පිහිටීම්

29

අප සමාජයේ විශේෂයෙන් මානසික රෝග ඇති අය සිටී. මේ මානසික රෝගී තත්ත්වයන්ට තදින්ම හසු වීම සම්බන්ධව විවිධ හේතු බලපායි. යම් යම් කරුණු තම සිත තුළ තමන්ට පමණක් සීමා කරගෙන ඒ ගැනම සිත සිතා කාලයක් සිටියහොත් ඔහු මානසික රෝගී තත්ත්වයට පත්වෙයි. ඇසට පෙනෙන කනට ඇහෙන දේවල් නිසා එම රෝගී තත්ත්වයන් කඩින්කඩ බලවත් විය හැක. සිත, යනු නමක් පමණකි. එය දකින්නට හෝ ස්පර්ශ කර දැන ගැනීමට හෝ නොහැකිය. එම නිසා එයට නාම ධර්මය කියා හඳුන්වයි.

සිතක ස්වාභාවය නිරතුරුවම අරමුණක් ගැනීමය. නිත්‍ය ස්වාභාවය එයයි. සිතේ ආහාරය අරමුණුය. මෙන්න මේ සිත ගන්නා අරමුණට සිත තුළම උපදින කරුණු පහක් තිබේ. එනම් ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, විඤ්ඤාණ යන කරුණු පහය. ඒ සිත ගත්ත ද ඇලීමක් ඇති වී එය ක්‍රියාත්මක නොවී දිගු කාලයක් ්පැවැතීම නිසා ඇතිවන මානසික රෝගී තත්ත්වයන්ට මුල් වන්නේ චේතනා විඤ්ඤාණ යන කරුණුය.

මේ කරුණු පහට ලබාදී ඇති නම වන්නේ පංච උපාදානස්කන්ධය ලෙසිනි. උපාදානස්කන්ධය යනු ඒ අරමුණට තදින් සිත අලවන කරුණු පහය. ස්පර්ශය යනු ඇසින් දුටු දේට හෝ කනින් ඇසූ දේට හෝ නාසයට දැනෙන සුවඳට හෝ දිවට දැනුණු රසයට හෝ සිරුරට දැනෙන පහසට හෝ තවත් අයගේ සිතට දැනුණු අදහසකට හෝ ස්පර්ශය නම් වෙයි. විඳීම හෙවත් වේදනා යනු ඒ ස්පර්ශයට තමන්ගේ කැමැත්ත හෝ අකැමැත්ත ය. සංඥා හෙවත් හඳුනාගැනීම යනු එය ස්පර්ශය ඇති වූ අරමුණ කෙරෙහි ඇති වන හැඟීම හා ආකල්පවලටය. චේතනා යනු ඒ ආකල්පය ක්‍රියාත්මක වීමයි. විඤ්ඤාණය යනු ඒ සියල්ලේම පරිපූර්ණත්වය ඇතිවන තැනය. මෙතැන් දී අදහස් හා ආකල්ප හෙවත් සංඥාව අනුව චේතනා හෙවත් ක්‍රියාත්මක කිරීමට බාධාව නිසා විඤ්ඤාණය දුර්වල වීම මානසික රෝගය ලෙස හැඳින ්වෙයි. ඒ අරමුණට තදින් සිත ඇලී තිබේ. නමුත් චේතනාවට බාධා ඇත. එවිට විඤ්ඤාණය දුර්වල වේ.

මේ අනුව මානසික රෝග ඇතිවන පරිදි ග්‍රහ තාරකාවන්ගේ කිරණ නිකුත් වේ. මේ කරුණේ දී ග්‍රහ තාරකාවන්ගේ කිරණ සකස් වී ඒවා මිනිස් සිතට වැඳීම හේතුවෙන් මේ පංච උපාදානස්කන්ධය නරක අතට වෙනස්වන බව පෙනේ.

දැන් අපි එවැනි ග්‍රහ පිහිටීම් පිළිබඳ කරුණු කෙසෙ ්දැයි විමසා බලමු. යම් කේන්ද්‍රයක කේතු අටවන කොටුවේ සිට සඳුගේ නම් එසේම එම කේන්ද්‍රයේ සඳුගෙන් අටවැන්නේ සෙනසුරු සිටී නම් අධ්‍යාපනය ද බිඳවැටී මානසික රෝගී තත්ත්වය ඇති වේ. ඒ අයගේ ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා බිඳී විඤ්ඤාණය අවුල්වී මේ තත්ත්වය ඇතිවේ.

කුජ තමන්ට නරක රාශියක් වී අටවැන්නේ ශනි සමග යෝගව සඳු දකීනම් මානසික රෝගී බව ඇති කරයි. ඇතැම්විට සියදිවි නසා ගැනීමට ද පුළුවන. එසේම ලග්නයක ධනුරාශියේ සෙනසුරු සිට කුජ දොළහ වැන්නේ නොසිටියේ නම් උමතු රෝග ඇතිවීමට ඉඩ ඇති බව පැවසේ. එසේම ගුරු ලග්නයේ සිටිය දී කුජ හත්වන කොටුවේ නීචව හෝ වෙනත් ග්‍රහයෙක් නිසා දුබලව හිටියහොත් එසේ මානසික රෝග ඇති කරවන ග්‍රහ නීච වී හෝ බද්ධ වී සිට පාපග්‍රහයන්ගෙන් පීඩා ඇති වුවහොත් උමතු බව ඇතිවන පිහිටීමක් වේ. මෙයින් බීමට පවා ඇබ්බැහි වන්නේය.

මෙසේ උමතු ස්වාභාවයන් විවිධ ස්වරූපවලට පවතී. ප්‍රේමයට තදින් ඇලී සිට එය වෙනස්ව යෑමෙන් උමතු බව ලබයි. උගත්කම ලබා එයට නිසි පළ නොලැබීමෙන් ද උමතු බව ලබයි. දුර්වල වූ සඳු සෙනසුරු සමග දොළොස්වන කොටුවේ සිටී නම් සිහිය අවුල්යයි. නිතර හිස් වචන කතා කරන කෙනෙක් වේ. එසේම කේන්ද්‍රයේ දෙවැන්න අධිපති සමග සංයෝග වුවහොත් සිහි විකල් බව ඇති වේ. එසේම කුජ හා ශනි එකතුව සිට එය කේතුව පෙනේ නම් විකල් බව ඇති කරයි. මේ අන්දමට මානසික රෝග ඇතිවීමට බලපාන ග්‍රහ පිහිටීම් කේන්ද්‍රයකින් දැකිය හැකිය. මේවා විශේෂ වශයෙන් එම ග්‍රහයන්ගේ දශාකාලය තුළ සිදුවිය හැක.

උමතු බව ඇති කිරීමට මූලිකම ග්‍රහයා කේතු ය. කේතු එසේ සඳ දුර්වලව තවත් ග්‍රහින්ගේ පීඩාවට හසුවීමත් කේතුගේ දෘෂ්ටිය වැදීමත් මේ අනුව උමතු රෝග ඇතිවීමට මුල්වෙයි. මෙසේ සිදුවන්නේ සිතක ඇති පංච උපාදානස්කන්ධය බිඳවැටීම හෙවත් විපරිත වී යෑමය නිසාය. මේවා සක්‍රීය කරන්නේ එකී ග්‍රහයන්ගේ එන කිරණවලිනි. ඒ ග්‍රහයන්ගේ මහා දශා ගෙවන කාලවල ඒවා ඇතිවන්නේ එබැවිනි.

ජ්‍යොතිෂවේදී
අගලවත්තේ බී. හේරත්
මහජන ක්‍රීඩාංගණය අසල, අගලවත්ත.
දු.ක.-071-2154253


advertistmentadvertistment