මාසික ආදායම කීයද කියලා මිහින්තලේ හාමුදුරුවන්ගෙන් අහන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක

1934

ලයිට් කැපුවයි කියන මිහින්තලේ හාමුදුරුවන්ගෙන් අහන්නකෝ මාසික ආදායම කීයද කියලා? පිං පෙට්ටියේ ආධාර මුදල් ලැබෙන්නේ නැද්ද? ආලෝක පූජාවේ සල්ලි කෝ? කියලා. ලයිට් කැපුවා කියන එකට වඩා ඇයි ලයිට් කපන්න වුණේ කියලා හොයන්න ඕන යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

පසුගියදා මිහින්තලා රාජමහා විහාරයේ විදුලි කපා දැමීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා මේ බව පැවසීය. එහිදී ඔහු මෙසේද කීය.

‘මාධ්‍යයෙන් අහන්නකෝ හාමුදුරුවන්ගේ මාසික ආදායම කීයද? විදේශ ආධාර කීයක් ලැබෙනවාද කියලා, විදුලිය කැපුවා කියන එක කියන්නේ නැතිව කපන්න හේතුවත් කියන්න එපැයි. ඇයි මුදල් ලැබෙන්නේ නැද්ද? ආධාර ලැබෙන්නේ නැද්ද? දහස් ගණනක්, ලක්ෂ ගණනක් මිහින්තලය වඳිනකොට පිං පෙට්ටියට කවුරුත් පඬුරු දාන්නේ නැද්ද? විදේශිකයෝ ආවම ආධාර දෙන්නේ නැද්ද? මිහින්තලය ගත්තත් ලංකාවේ තියෙන ප්‍රධාන සිද්ධස්ථාන ගත්තත් වැඩිහරියක් මේ සිද්ධස්ථාන සංවර්ධනය කරලා තියෙන්නේ ආණ්ඩුවෙන්. අටමස්ථානයේ වැඩිම සංවර්ධනයක් කරලා තියෙන්නේ ආණ්ඩුවෙන්. රථ ගාල, ආවාස ගේ වගේ ගොඩක් තැන් ආණ්ඩුවෙන් සංවර්ධනය කරලා තියෙනවා. ඒ වගේම විශාල ධානපතියෝ උදව් කරනවා. මේ වගේ සිද්ධස්ථානවලට ආණ්ඩුවෙන් ආශිර්වාදයත්, සහායත් තියෙනවා. ඒ වගේම ධනවතුන්, පිංවතුන් බොහෝ දෙනෙකුත් උදව් කරනවා.

ඒ නිසා ලයිට් කැපුවා කියන එකට වඩා ඇයි ලයිට් කපන්න වුණේ කියලා හොයන්න ඕන. මේ මාසේ ලයිට් බිල ලක්ෂ 05 යි කියමුකෝ, මේ මාසේ ආදායමක් නැති වෙන්න පුළුවන් ලක්ෂ 05 ක්. හැබැයි ගිය මාසයේ ආදායම කීයද? පොසොන් එකේ ආදායම කීයද? මේක අපි විවෘතව කතා කරන්න ඕන දෙයක් නෙමෙයි. හාමුදුරුවෝ බලාගන්න ඕන දෙයක්. උදව්වක් ඕන නම් ඉල්ලනවා මිසක් අපි බෞද්ධයෝ විදිහට සියලුම සිද්ධස්ථාන වන්දනා කරන්න යනවා. ඒකේ ආදායම කීයද? වියදම කීයද? විදේශිකයන්ගෙන් ආධාර කොච්චර ලැබෙනවාද? සාමාන්‍ය ජනතාවගෙන් ආධාර කොච්චර ලැබෙනවාද? පිරිකර කීයක් ලැබෙනවාද මේවා අපි හොයන්න යන්නේ නෑ. ඒක අපේ රාජකාරියක් නෙමෙයි. හැබැයි යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් අපෙන් උදව්වක් ඉල්ලුවොත් ඒ උදව්ව අපි කරනවා.
තිසර සමල් – එප්පාවල

advertistmentadvertistment
advertistmentadvertistment