මනසට  පීඩා ඇතිවීමට බලපාන දිවිපෙවෙත

254

මේ වනවිට අපට නිතර දකින්නට අසන්නට ලැබෙන්නේ සිරුරේ ඇතිවන රෝගාබාධවලට වඩා මනසේ ඇතිවන රෝගාබාධ නිසා පීඩා විඳින ජනතාව ගැනයි. ඉන් ඔවුන් තම ජීවිත පවා අහිමි කරගනී. වර්තමානයේ එවැනි සිද්ධීන් නිතර අසන්නට ලැබේ.

 වෛද්‍යතුමනි, සෘෂිනාඩි වෛද්‍ය ක‍්‍රමයට අනුව මනසේ ඇතිවන රෝගාබාධ ගැන පැහැදිලි කරන්නේ කෙසේද?

 අපගේ සිරුරේ ඇතිවන සෑම රෝගාබාධයක් සම්බන්ධවම සෘෂිනාඩි වෛද්‍යවරුන් පැහැදිලි කිරීම් සහ ඊට ප‍්‍රතිකාර සඳහන් කර තිබෙනවා. ඒ අනුව මනසේ ඇතිවන රෝග පීඩා සම්බන්ධව වාමකෝ නමැති සෘෂිනාඩි වෛද්‍යතුමන් පැහැදිලි කිරීම් කර තිබෙනවා.

 මනසේ ඇතිවන ලෙඩ රෝගවලට බලපාන හේතු කිහිපයක් තිබෙනවා. පළමු හේතුව උපතින්ම ඇතිවන දුර්වල මානසිකත්වයයි. දෙවැනි හේතුව සිරුරේ මතුවූ කිසියම් රෝග පීඩාවක්. තුන්වැනි හේතුව වන්නේ තමා ගතකරන ජීවන රටාවේදී මතුවන බලපෑම්ය.

 උපතින්ම ඇතිවන දුර්වල මානසිකත්වය

 වාමකෝ සෘෂිනාඩි වෛද්‍යතුමන් පවසා ඇති ආකාරයට ඇතැම් දෙනා උපතින්ම දුර්වල මානසික තත්ත්වයන්ගෙන් යුක්තව උපදී. මේ සඳහා ඔවුනගේ පෙර අකුසල කර්ම ද බලපාන බව සඳහන් කර තිබේ.

 මෙවැනි අය කුඩා කල සිට සුළු සිද්ධියක් හමුවේ වුව දැඩි ලෙස බියට පත්වීම, සන්තාපයට පත්වීම, පසුතැවීම ආදියට පත්වේ. මෙවැනි හේතූන් නිසා බොහෝවිට අප ඔවුනට දැඩි සංවේදී පුද්ගලයන් ලෙස පවසනවා. සුළු සිද්ධියකදී පවා ඔවුන් කඳුළු සලා දුකට පත්වෙනවා. ඇතැම් විට වෙව්ලීමට ලක්වී අතපය දරදඬු වීමට පවා ලක්වනු දැකිය හැකිය. ඉන්පසු ටික වේලාවකින් සාමාන්‍ය තත්ත්වයට පත්වේ.

 සිරුරේ මතුවූ රෝග පීඩාවක් නිසා

 අප කොයි කවුරුත් ආශා කරන්නේ නීරෝගීව සෞඛ්‍ය සම්පන්නව දිවි ගෙවීමටය. නමුත් නොසිතූ ලෙස අපට විවිධ රෝග පීඩා මතුවේ. විශේෂයෙන්ම හෘදයාබාධ, පිළිකා, හන්දිපත් රෝග, ස්නායු රෝග, ගැස්ට‍්‍රයිටීස් වැනි ආමාශගත අම්ලපිත්ත රෝග මතුවූ විට අප ඉතා දැඩිව මානසික පීඩාවට පත්වේ. දුක, වේදනාව ඉතා දැඩිව මතුවේ. නිතර කෝපවීමට ලක්වේ. අන් අය නුරුස්සන බවක් මතුවේ. ජීවිතය ගැන කලකිරීම් මතුවේ. සෑම දෙයක් ගැනම අසුභවාදීව හිතන්නට පටන් ගනී.

 මෙවැනි හේතූන් නිසා ඇතිවන කම්පන මත නිතර මානසික පීඩාවනට ගොදුරුවේ.

 ගතකරන ජීවන රටාව

 වාමකෝ සෘෂිවරයා පවසා ඇති ආකාරයට අපට බොහෝ මානසික පීඩාවන් ඇතිවන්නේ අප ඒකාකාරී ජීවිතයක් ගතකිරීමට උත්සාහ කිරීම නිසාය. ඇතැම් දෙනා හුදකලාවේ දිවි ගෙවීමට කැමතිය. තවත් පිරිසක් මිතුරු මිතුරියන් වැඩි පිරිසක් ඇසුරු කරමින් සමාජ සේවයේ යෙදෙමින් විවිධත්වයෙන් යුතුව දිවි ගෙවීමට පි‍්‍රයකරයි. තවත් පිරිසක් කලහකාරීව අන් අයට හිංසා කරමින් දිවි ගෙවීමට කැමතිය. උදාහරණයක් ලෙස මත්ද්‍රව්‍ය ආදිය භාවිතා කරමින් ආයුධ සන්නද්ධව දිවි ගෙවීම ඔවුන් සතුටක් ලෙස දකී. ඉන් අන් අයට සිදුවන පීඩාවන් තුළින් ඔවුන් සතුටක් ලබයි.

 තවත් පිරිසක් කාර්ය බහුල බවට කැමතිය. ඔවුනට උදෑසන අවදි වූ මොහොතේ සිට නින්දට යනතුරු කුමක් හෝ කටයුත්තක නියැළෙන්නට අවශ්‍යය. ඔවුන් සතුට ලබන්නේ එම අවිවේකී දිවිය තුළිනි.

 මෙවැනි ජීවිත ගෙවීමට හුරුවූ පුද්ගලයන්ගේ දිවිපෙවෙත කිසියම් හෝ හේතුවක් මත වෙනස් වූ විට ඔවුනට එය දරාගත නොහැකි වේ. ඉන් දැඩිසේ මානසික පීඩාවට පත්වේ.

 මෙම වෙනස්වීම දරාගත නොහැකිව ඇතැම් පුද්ගලයන් හෘදයාබාධවලට ලක්වේ. ඒ සඳහා දිය හැකි උදාහරණයක් වන්නේ දිගු කලක් එකම රැුකියාවක නිරත වූ අයෙක් ඉන් විශ‍්‍රාම ගත් විටදීය. තමා ගතකළ ඒකාකාරී දිවිය වෙනස් වූ විට එය දරාගත නොහැකිව හෘදයාබාධවලට ලක්වූවන් අපට බොහෝ හමුවේ.

 මනස සන්සුන් කර ගැනීම

 මනස සන්සුන් කර ගැනීම සඳහා ඇති එකම ඖෂධය තමා අදහන ආගම අනුව සරල දිවියක් ගතකිරීමට යොමුවීමය. ඒ අතර තමාට මතුව ඇති රෝගාබාධ සඳහා නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම කළ යුතුය. හාස්කම් තුළින් ලෙඩ සුවකරනවා යැයි පවසන පුද්ගලයන්ට හසුනොවී සැබෑ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා පමණක් යොමුවිය යුතුය. ඇතැම් රෝගාබාධ සුව කිරීම නොව කළ හැක්කේ පාලනය පමණි. එවිට අපට එම රෝග සඳහා ජීවිත කාලයටම ප‍්‍රතිකාර ගැනීමට සිදුවේ. එවැනි අවස්ථාවන්හිදී සිත කම්පාවට පත්කර නොගෙන ආදාළ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් සිත පාලනය කර ගැනීමට පියවර ගත යුතුය. ඉතා සංවේදී පුද්ගලයන් තම සංවේදී බව මත තමාට කළ නොහැකි කටයුතු හඳුනාගෙන ඒවායේ නිරත වීමෙන් වැළකී තමාට කළ හැකි කටයුතු ගැන සිතා සතුටු වෙමින් ඒවායේ නිරත වීමට හුරුවිය යුතුය.

මනසට  පීඩා ඇතිවීමට බලපාන දිවිපෙවෙත

advertistmentadvertistment
advertistmentadvertistment