මැතිවරණ කොමිසම දැක්වූ ප්‍රතිචාරය

130

පළාත් පාලන බලප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශක කමිටු පත්කිරීම මැයෙන් ඔබ විසින් පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් අමතන ලද 2024.04.29 දිනැති අංක PS/SB/Circular/5/2024 දරන චක්‍රලේඛය හා බැඳේ.

  1. මෙම චක්‍රලේඛය මගින් උරුමය ඉඩම් හිමිකාරීත්වය වැඩසටහන, නාගරික නිවාස හිමිකාරීත්ව වැඩසටහන, කඳුකර දශකයේ සංවර්ධන වැඩසටහන, කෘෂිකර්ම නවීකරණ වැඩසටහන හා සහල් බෙදා දීමේ වැඩසටහන, ග්‍රාමීය මට්ටමින් අධීක්ෂණය කිරීම සඳහාත්, පළාත් පාලන ආයතන මට්ටමින් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු ප්‍රමුඛ වැඩසටහන් හා ව්‍යාපෘති හඳුනාගෙන එම වැඩසටහන් හා ව්‍යාපෘති අදාළ පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කිරීම සඳහාත් ප්‍රජා උපදේශක කමිටු පත්කිරීමට අදාළ උපදෙස් ලබාදී ඇත.
  2. වර්තමානයේ රට තුළ පවතින ආර්ථික හා සමාජමය ගැටලුවලට විසඳුමක් වශයෙන් මෙවැනි සුබසාධන හා සංවර්ධන ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ විරුද්ධත්වයක් නොමැත.
  3. නමුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවා ඇතත්, තවමත් එම ඡන්ද විමසීම පවත්වා අවසන්ව නොමැත. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 (ඒ) වගන්තිය ප්‍රකාරව මැතිවරණ නීතිය තවමත් බලාත්මකව පවතී. එසේම පළාත් පාලන මැතිවරණ නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ කිසිදු දේශපාලන පක්ෂයක්/කණ්ඩායමක්/අපේක්ෂකයෙක් ප්‍රවර්ධනයක් නොවන සේ කටයුතු කළ යුතු බවට හා ඒ සඳහා කිසිදු රාජ්‍ය දේපළක් යොදා නොගත යුතු බවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104(ආ) 4(අ) අනුව්‍යවස්ථාව අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් 2023.01.04 දිනැති අංක 2313/32 දරන විධාන ගැසට් පත්‍රය හා 2023.01.05 දිනැති චක්‍රලේඛ අංක 20 මගින් මැතිවරණ කොමිසම නියෝග නිකුත් කර ඇති අතර, එම ගැසට් නිවේදන හා චක්‍රලේඛ මැතිවරණ නීතිය බලාත්මක බැවින් තවදුරටත් ක්‍රියාත්මකව පවතී. (ඔබගේ පහසු පරීශීලනය සඳහා එම විධාන හා චක්‍රලේඛ පිටපත් මේ සමග ඉදිරිපත් කරමි.)
  4. එමෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයන් යෝජිත ප්‍රජා උපදේශක කමිටුවල සාමාජිකයන් ලෙස පත් කරන්නේ නම් ඔවුන් විසින් මෙම පත් කිරීම සහ ලබාදෙන ප්‍රතිපාදන ස්වකීය දේශපාලන ප්‍රවර්ධනය උදෙසා යොදාගැනීම නොවැළැක්විය හැකි වන්නා සේම එය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආඥා පනතේ (262 අධිකාරය) හී 82 (ආ) යටතේ සංග්‍රහ කිරීම, 82 (ඇ) යටතේ අයුතු බලපෑම්, 82 (ඈ) යටතේ අල්ලස් ලබාදීම යන වරදවලට හේතු වේ. එසේම එම පනතේ දණ්ඩන නියමයන්ට මෙන්ම 9 වන වගන්තිය ප්‍රකාරව සභික ධුරය අහෝසිවීමට ද මෙය හේතු විය හැකිය.
  5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (3) අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා ඡන්ද විමසීමට දින ප්‍රකාශ කිරීම තව නොබෝ දිනකින් සිදුවනු ඇත.
  6. ඉහත සියලු කාරණා සලකා බැලීමේදී ඔබ විසින් ඉදිරිපත් කරන ලද චක්‍රලේඛය මගින් මැතිවරණ නීතිය බලාත්මක කාලය තුළ යම් යම් දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනය වීමක් සිදුවන බව පැහැදිලිය. එසේ වුවහොත් මැතිවරණ නීතිය ක්‍රියාත්මකවීම කෙරෙහි මහජනතාවගේ විශ්වාසය බිඳ වැටීමක් ද සිදුවිය හැක. එසේම දැනට පළාත් පාලන ආයතන ක්‍රියාත්මක නොවන බැවින් හා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයන් මහජන නියෝජිතයන් නොවන බැවින්, හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වා විධිමත් මහජන නියෝජනයකින් මෙම කටයුතු සිදුකිරීම සුදුසු බව යෝජනා කරමි.
  7. එබැවින් ඉහත චක්‍රලේඛය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් හා සුභසාධන වැඩසටහන් දීපව්‍යාප්ත පුළුල් වැඩසටහන් වන බැවින්, එය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී ඇති කිසිදු අපේක්ෂකයෙක් සහභාගි කර ගැනීමකින් තොරව දිස්ත්‍රික් ලේකම්වරුන්/ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණයෙන්, සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කිරීම හා එවැනි කාර්යයන් සඳහා පත්කර ඇති රාජ්‍ය නිලධාරීන් මගින් සිදුකිරීම යෝග්‍ය බව කාරුණිකව දන්වන අතර, මේ පිළිබඳව අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමි.

මැතිවරණ කොමිෂම

advertistmentadvertistment
advertistmentadvertistment