මැල්සිරිපුර පොලිසියේ යකා මාමලා තුන්දෙනා

868

මැල්සිරිපුර පොලිසියේ “පොලිස් මාමලා” තුන්දෙනකු විසින් කරන ලද අමුම අමු, නීචම නීච, කාලකණ්ණි ක්‍රියාවක් ගැන අද සාකච්ඡා කරමු. මැල්සිරිපුර ජාතික පාසලේ නව වැනි ශ්‍රේණියේ ඉගනුම ලබන නිමේෂ් විදුරංග නමැති සිසුවා වායු රයිෆලයක් සහ ජංගම දුරකථනයක් සොරාගැනීම සම්බන්ධයෙන් සැකපිට මැල්සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාංචු දමා අමානුෂික ලෙස පහරදී තිබේ. දරුවා කියන පරිදි “පොලිස් මාමලා” තුන්දෙනෙක් ඔහුගේ ඔළුවට, මුහුණට, කටට, පපුවට දරුණු ලෙස පහරදී ඇත. එක පොලිස් මාමා කෙනෙක් දරුවාගේ වම් ඇහැට ඇඟිල්ල දමා කරකවා තිබේ. දරුවා කියන පරිදි දැන් ඔහුගේ වම් ඇහැ නොපෙනේ. කටේ ඇති තුවාල නිසා කෑම ගැනීමටද බැරිය. අප මේ කතුවැකිය මුලදී පොලිස් මාමලා යන යෙදුම යොදන ලද්දේ දරුවා එකී යකුන් තුන්දෙනා මාමලා ලෙස හඳුන්වන බැවිනි. අපට හැඟෙන පරිදි කුඩා දරුවන්ට පහරදෙන මෙවැනි යකා මාමලා අපායේදී හමුවීමට පුළුවන. අප දන්නා පරිදි මැල්සිරිපුර පොලිසියේ OIC හෝ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හෝ පොලිසියේ විනය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හෝ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෝ මේ වනතුරුත් මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැත. ඒ බව පොලිසිය භාර ඇමැති ටිරාන් අලස්ට දැන්වීමට අප මෙය අවස්ථාවක් කරගනිමු. මේ ගැන විමසූ විට මැල්සිරිපුර පොලිසියේ OIC කියන්නේ අත්අඩංගුවට පත්වූ ළමයා බියපත් කිරීම සඳහා රාළහාමිලා තුන්දෙනා මේ පියවර ගෙන ඇති බවය. මේක යකාගේ බියපත් කිරීමකි. මේ බියපත් කිරීම තව චුට්ටක් වැඩිදියුණු වුණේ නම් කුඩා දරුවා ස්ථිර වශයෙන්ම මරණයට පත්වනවා ඇත. දෑතට මාංචු දැමූ සැකකාර දරුවාට නීච ලෙස පහරදීමෙන් පසු සොරකම් කළා යැයි කියන ජංගම දුරකථනයට රුපියල් 22000 බැගින් ගෙවිය යුතු බවට නියෝග කළ පොලිසිය එම ගනුදෙනුව සිදුවීමෙන් පසු දරුවා නිදහස් කර තිබේ. ඊළඟට, පහරදීම නිසා දරුවාට අසනීප තත්ත්වයක් ඇතොත් ඔහු රජයේ රෝහලකට ගෙන නොගොස් ගමේ බෙහෙත් සාප්පුවකින් ප්‍රතිකාර ලබාගන්නා ලෙස කපටි පොලිස්කාරයන් තුන්දෙනා උපදෙස් දී තිබේ. මේ සිද්ධියේදී මැල්සිරිපුර පොලිසියේ OIC අහිංසක බව අපට පැහැදිලිය. ඔහු පොලිසියත් ආරක්ෂා කරගෙන ගමනක් යෑමට උත්සහ කරන බව පෙනේ. මේ සිද්ධිය පිළිබඳ හරියාකාරව නීතිය ක්‍රියාත්මක වුණොත් එම උත්සාහය සම්පූර්ණයෙන්ම නිරර්ථක වනවා ඇත. පෙරකී යකා මාමලා තුන්දෙනා සැකකාර දරුවාට මේ ආකාරයෙන් පහරදුන්නේ පැමිණිලි පාර්ශ්වයෙන් විශාල ජරාවක් අනුභව කිරීමෙන් පසු බවට සැකයක් අප තුළ තිබේ. සැකයේ වාසිය කවදත් විත්තියටය. කෙසේ වුවද පොලිසියෙන් ගුටි කෑ දරුවා සති අන්තය ගත කළේ කුරුණෑගල රෝහලේදීය.

අවුරුදු 18 ට අඩු ළමයකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී එම ළමයා ගැහැණු වුවද පිරිමි වුවද කාන්තා පොලිස් කොස්තාපල්වරියක් එම අත්අඩංගුවට ගැනීමට සහභාගි විය යුතුය. එහෙත් නිමේෂ් විදුරංග අත්අඩංගුවට ගැනීමේදී පෙරකී යකා මාමලා තුන්දෙනා පමණක් ත්‍රිරෝද රියකින් ගොස් දරුවාට මාංචු දමා රැගෙන විත් ඇත. ඒ අනුව මෙය ළමයකු පැහැර ගැනීමක් සේ අර්ථකථනය කිරීමට පුළුවන. ලංකාවේ පොලිසිය එහි ඉතිහාසයේ පටන්ම අමානුෂික ආයතනයක්ව පැවති දැන් ක්‍රමයෙන් ගොඩඑමින් පවතී. දැනට අවුරුදු දහයක පමණ සිට පොලිසිය විසින් බාහිර ලෝකයේදී මහජනතාවට කරනු ලබන ආමන්ත්‍රණය පවා වැදගත් ස්වරූපයක් ගනී. හිටපු ගමන් කාකි කෝට්කාරයෙක් කුණුහරුප දෙකක් කියාගෙන පොලිස් කාන්තාවකගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කරන ආකාරය අපි රූපවාහිනියෙන් දුටුවද එය ඒ තරම් ලොකු දෙයක් ලෙස අප ගණන් නොගන්නේ පොලිසියෙන් පොලිසියටම සිදුවූ දෙයක් සේ සලකාය. එහෙත් මහජනතාවගේ ආරක්ෂාවට සිටින ඇතැම් යකා මාමලා කුඩා දරුවකු මරාගෙන කන්නට උත්සහ කරන විට අපට එය කිසි ලෙසකත් නොසලකා සිටීමට නොහැක.

පොලිසිය යනු මේ රටේ තිබෙන විශාලතම සිවිල් ආයතනය වේ. මෙහි කාර්ය මණ්ඩලය 80000 ක් පමණ වේ. මේ 80000 න් 99.9 % ක්ම යහපත් මිනිසුන් බව අපගේ විශ්වාසය වේ. එය එසේ වන බවට අප තුළ අත්දැකීමක් නැතත් අප එසේ විශ්වාස කරන බව සඳහන් කරමු. සාමාන්‍ය ජනතාවට ඇති සියලුම ප්‍රශ්න පොලිසියට ඇත. සාමාන්‍ය කම්කරුවන්ට නැති දරුණු ප්‍රශ්න පොලිසියේ සුළු නිලධාරීන්ට ඇත. ඔවුන් ජීවත් වන්නේ දැඩි පීඩනයක් යටතේය. OIC සිට IGP දක්වා සියලු උසස් නිලධාරීන් මුදාහරින පීඩනය රාළහාමිගේ ඇඟ උඩින් යයි. එවිට රාළහාමිලා යක්කු බවට පත්වෙති. එහෙත් කුඩා දරුවන් ඉදිරියේදී හෝ කුඩා දරුවන් සම්බන්ධයෙන් යකා මාමලා බවට පත්වීමට කිසිදු පොලිස් නිලධාරියකුට අයිතියක් නැත.


advertistmentadvertistment