මිනිස් බසේ නටබුන් අතරින් මතුවන මෙරට ආදි දේශීය භාෂා ව්‍යවහාරය

503

මිනිස් බස අනාදිමත් කාලයක සිට පෘථිවියේ විසිරී පවතින්නකි. එය කොතැනින් කවර මං ඔස්සේ පැතිර ගියත්, අද ලොව පුරා සිටින මානව සමාජයේ උරුමයක්ව පවතී. ඒ අතර ශිෂ්ට ජාතීන්ගේ සංස්කෘතික අංගයක් වන්නේ ඒ ඒ භාෂක සමාජවලට විශේෂ වූ භාෂාව, ලේඛනය මාර්ගයෙන් සංරක්ෂණය කර ගැනීමයි. එසේ නොවන තවත් සමාජයක මිනිසුන් කතා කරන බස කිසිවිටෙක ලේඛනගත නොවීමේ හේතුවෙන් ඒවා ඉදිරියට යන්නේ කිසිම අතීත සටහනක් නැතුවය. අපේ වැදි බස නිදසුනකි. එය කටවහරින් ඉවත් වුණු විටෙක ඒවා පැවැති බවක් වත් දැනගැනීමට සලකුණක් නැතිව යයි.

ලේඛනය පවත්නා භාෂක සමාජවල ව්‍යවහාරය ඒ සඳහා විශේෂ ආකාරයෙන් සංස්කරණය කර ගැනීම නිසා, එය එම බසේම භාෂණයෙන් වෙනස් වෙයි. ඇතැම් බසක් මේ වනවිට භාෂණයේ නැතත් ලේඛනවල පමණක් සුරක්ෂිතව ඇත. එබඳු බස්වහරක් මළ බසක් ලෙස සැලකේ. ජාලිය හෝ ලතින් මෙනි. මේ අතර බොහෝ ශිෂ්ට භාෂාවල භාෂණය හා ලේඛනය වෙනස් ස්වරූපයන් දරතත්, ඒ අංශ දෙකම සජීවීව සංවර්ධනය වෙමින් පවතී.

අපේ ප්‍රස්තූතය වන්නේ සිංහල භාෂාවය. එහි ඉතා පැහැදිලිවම භාෂණ ලේඛන විෂමතාව පවතී. ඒ අනුව එය එම ලක්ෂණ දරන දෙමළ වැනි වෙනත් බසකට සමාන වෙයි. මේ ව්‍යවහාර විෂමතාව හැඳින්වෙන්නේ භාෂාවේ ද්විරූපතාව (Diaglasia) වශයෙනි. යම් භාෂාවක් අතීතයේ සිට විකාශය වෙමින් පවත්නා ආකාරය සොයා යෑමේදී එහි ලේඛනගත ව්‍යවහාරය ඒ සඳහා පහසුවෙන් උපයෝගී කරගත හැකි වෙයි. එහෙත් භාෂණය කටවහරට සීමාවූ විට එහි ශේෂ වන කිසිවක් ගැන සිතිය නොහැකිය. මේ නිසා භාෂණයේ විකාශ අවස්ථා සෙයා ගත හැක්කේ එහි ඇතුළත් නටබුන් අතරිනි. මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතියේ ලකුණක් ලෙස වාග් විiාවේ ඓතිහාසික හා තුළනාත්මක අංග මින් පෙර කවරදාකවත් නොවූ විරූ ලෙස දියුණු වී ඇති අතර, භාෂා පර්යේෂණවල නියුතු විද්වත්හු ඒ අතරින් මිනිස් බස්වහරේ වර්තමාන ස්වරූපය එකිනෙක හා සසඳමින් හදාරමින් සිටිති. එය හැඳින්විය යුත්තේ භාෂාවේ නෂ්ටාවශේෂ එහි අතීතය සොයා ගැනීමට යොදා ගැනීමක් ලෙසය.

ලේඛනය යනු භාෂණයේ ම සංස්කරණයකි. එහි වාග් කෝෂයත් වාක්‍ය රටාවත් ව්‍යාකරණය මගින් විධිමත් කරගනු ලැබේ. ඒ අනුව ලේඛනයේ ද භාෂණය සැඟවී පවතී. එහෙත් සංස්කරණය නිසා වෙනත් මුහුණුවරක් ගත් භාෂා ව්‍යවහාරයේ මූලයන් අනාවරණය කර ගැනීම පහසු ක්‍රියාවක් නොවේ. එයට හේතුව ක්‍රමයෙන් ලේඛනය ඉදිරියට යන්නේ එහිම ආදි අවස්ථා පදනම් කරගෙන වීමය. මෙහිදී ප්‍රයෝජනවත් වන්නේ පර්යේෂණ කාර්යය එකම භාෂාවකට සීමා කර ගැනීම වෙනුවට එකම පද මූලය විවිධ භාෂාවලදී උච්චාරණය අනුව වෙනස් මුහුණුවරක් ගන්නා ආකාරය අනාවරණය කර ගැනීමය. වාග් විiාව ඉදිරියට යෑමේදී භාෂා පවුල් වශයෙන් විවිධ මානව භාෂා වර්ග කරන ලද්දේ මේ පදනමේ සිටය. මේ අනුව සිංහලය මෙන්ම ඉංග්‍රීසිය ද ඉන්දු යුරෝපීය භාෂා පවුලේ සාමාජිකයෝ වෙති.

සිංහල ලේඛනයේ ඉතිහාසය මෙරටට මහින්දාගමනය සිදුවූ ක්‍රි. පූ. තෙවන සියවස තෙක් ගමන් කරන බවට එකල කරන ලද සෙල්ලිපි සාක්ෂ්‍ය කරගනු ලැබේ. මේවා හැඳින්වෙන්නේ වෙස්සගිරි සෙල්ලිපි ලෙස ය. සිංහල සාහිත්‍යයේ ආරම්භක අවධිය සනිටුහන් කරන හෙළටුවා අයත් වන්නේ ද මේ සමයටමය. මුලදී පාලියෙන් පැවැතුණු අටුවා සිංහලට පෙරළා හෙළටුවා සකස් කරන ලද බැව්, මහින්දාගමනයෙන් වසර 1300 ක් ගතවුණු පසු, එනම් 10 වන සියවසේදී රචිත ධම්පියා අටුවා ගැටපදයේ පැහැදිලිව දක්වා ඇත්තේ මෙසේය.

“මගධ බසින් වැටෙමින් ආ බුදු කැලි මහ අටුවා හෙළදිව ඇජුරෝ හෙළ බසින් තැබූහ” (ඔ. අ. ගැ. 05 පිටු)

මගධ බස ලෙස මෙහි සඳහන් වන්නේ අද පාලිය ලෙස හැඳින්වෙන එකල ත්‍රිපිටකය පවත්වාගෙන එන ලද බස්වහරය. බුදුන් වහන්සේ භාරතයේ මගධයේ ජන්මලාභය ලද නිසා උන්වහන්සේ ව්‍යවහාර කෙළේ එම බස ලෙස සැලකේ. මහාවීර නම් ශාස්තෘවරයා ද එම ප්‍රදේශයේ උපන්නකු බවත් ඔහුගේ බස අර්ධ මාගධිය ලෙස හැඳින්වෙන බවත් සැලකිය යුතුය. එය පාලියට තරමක් වෙනස්ය. මේ භාෂා දෙකම එකම ප්‍රදේශයක බිහිවුවත් ආගමික පිරිස් දෙකක් වෙන වෙනම සංස්කරණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒවා මුහුණුවර දෙකක් දරන බව ද නිගමනය කළ හැකිය.

මේ භාෂා අංශ දෙකම එකම මුලකින් විකාශනයට පත් වුවත් උච්චාරණ විෂමතාව අනුව පසුව භාෂා දෙකක් බවට පෙරැළිණ. එහෙත් එක් කෝෂය සාමාන්‍යයෙන් භාෂා දෙකටම පොදු විය. මෙසේ භාෂා අතර පරතරය ක්‍රමයෙන් වැඩී යෑමේ ප්‍රධාන හේතුව පසු කලෙක සිදුවූ කටින් කට පවත්වාගෙන ආ ධර්මය ලේඛනගත කිරීම මගින් ස්ථාවර වූ භාෂා විෂමතා තහවුරු වීමය.

මිහිඳු හිමියන් විසින් මෙරටට ගෙන එන ලද්දේ කටවහරින් පවත්වාගෙන එමින් පැවැති ත්‍රිපිටකය සහ එහි අර්ථකථන ය. ඒවා සූත්‍ර වශයෙන් සකස් කර කටපාඩම් කරනු ලැබූවන් ධර්මය ප්‍රචාරය කරන ලද්දේ ව්‍යවහාර භාෂාවෙනි. ඇතැම් විට ආචාර්යවරුන් තමන්ගේ සුවිශේෂ අර්ථකථන ගාථාවට නගා පවත්වාගෙන එමින් තිබිණි. අටුටා ලේඛනගත කිරීමේදී ඒවා වෙන්කොට දක්වා තිබේ. හෙළටුවා දැනට අභාවයට පත්ව ඇතත් ධම්පියා අටුවා ගැටපදයේ ඇතුළත් එම පාඨ කීපය ඇසුරින් ඒවායේ භාෂාව සහ අන්තර්ගත කරුණු ගැන අවබෝධයක් ලබාගැනීමට කෙනකුට හැකි වේ.

මේ හැරුණු විට මෙරට ලිඛිත භාෂා ව්‍යවහාරයක් පැවැති බවට හමුවන අනෙක් නිදර්ශනය වන්නේ ක්‍රි. පූ. තෙවන සියවසට අයත් වෙස්සගිරි සෙල්ලිපිය ය. ගල්ලෙන් සකස්කර භික්ෂූන්ට පූජා කළ උවසු උවැසියන් තමන්ගේ නම ද සඳහන් කර පූජාව ලේඛනගත කළ අයුරු ඉන් පෙනේ. මේවායේ සඳහන් වන්නේ පසු කලෙක දියුණු කරන ලද ලේඛන ව්‍යවහාරය නොව කටවහරට සසක් කර ලියූ බස්වහරකි. අවශ්‍ය කාරණය ඉතා කෙටියෙන් කියාපෑම මේවායේ පොදු ලක්ෂණයකි. ගලේ අකුරු කෙටීම දුෂ්කර කාර්යයක් වීම මෙයට හේතු වන්නට ඇත.

වෙස්සගිරි ලිපි ගැන හැඳින්වීමක් ලබා ගැනීමට ඒවායේ කොටසක් වන පහත සඳහන් පාඨය දක්වමි. “උපශිත තිශය ලෙනෙ අගත අනගත’ අංනගත චතුදිශ ශගශ” මෙයම පාලි භාෂාවෙන් දක්වතොත් එය විය යුතු වන්නේ පහත සඳහන් ලෙසය. “උපාසිකාය තිසසාය ලෙනං අගතස්ස අනාගතස්ස චතුද්දිසස්ස සඛ්‍යස්ස දින්නං”

“තිස්සා උපාසිකාවගේ (ඇය කරවූ) ලෙන ආ නො අනු සිව්දිග සංඝයාට දෙන ලදී.” යනු එය වර්තමාන ලේඛන සිංහලයෙන් දැක්වෙන අයුරුය.

මෙම සෙල්ලිපි බස ගයිගර් ඇතුළු උගතුන් හඳුනාගෙන ඇත්තේ ‘සිංහල ප්‍රාකෘත්‍ය’ නමිනි. එය භාෂණයේ ම සංස්කරණයක් බව ඉන් හැඟවෙතත් මේ යුගයේ සිංහල භාෂණය පිළිබඳ වෙනත් සඳහන් හිඟවිමේ හේතුවෙන් එය එසේ මැ පිළිගැනීමට වඩා තවදුරටත් විමර්ශනයට භාජන කිරීම වඩාත් සුදුසුය.

භාරතීය භාෂණ ව්‍යවහාරය පැවැති ආකාරය දැනගැනීමට අපට ඇති එක් නිදර්ශනයක් වන්නේ සංස්කෘතික නාට්‍ය ග්‍රන්ථවල ඇති ප්‍රකෘති කොටස්ය. ඒවා සංස්කෘතය මෙන් ලේඛන ව්‍යවහාරයට බර නැති අතර, ඒ ඒ ප්‍රදේශවල උච්චාරණ රටාව අනුව සකස් කර දක්වා තිබේ. එකම නාට්‍යයේ බ්‍රාහ්මණයන් සංස්කෘතයෙන් කතා කරන අතර එහිම කාන්තාවන් ප්‍රාකෘත භාෂාවලින් කතා කිරීම නාට්‍ය සම්ප්‍රදායයි. එයින් ප්‍රාකෘත භාෂා ලක්ෂණ සංස්කෘතයෙන් වෙනස් වන ආකාරය ගැන අවබෝධයක් ලැබිය හැකිය.

ඉහත සඳහන් වෙස්සගිරි ලිපිවල (දන්තජ) ‘ස’ කාරය වෙනුවට (තාලුජ) ‘ශ’ කාරය යෙදීම සංයුක්ත අක්ෂර කෙවල වීම, ප්‍රථමා විභක්ති ප්‍රත්‍යය වන නපුංසක ලිංග ඒක වචන අනුස්වාරයට (බින්දුවට) ‘එ’ ආදේශවීම යන ලකෂණවලින් දැක්වෙන්නේ කටවහරම ලියා දැක්වීමේ ප්‍රාකෘත ලක්ෂණය බව ද සඳහන් කළ යුතුය.

මෙම යුගයට සමගාමී ව වැඩුණු අනෙක් බස්වහරක් ද වූ බවට සාධක වන්නේ මුලින් සඳහන් වුණු හෙළටුවාවල භාෂාවය. දැනට මින් ඉතිරිව ඇත්තේ ධම්පියා අටුවාවෙහි උපුටා දක්වා ඇති පාඨ කීපයක් පමණි. මේ ගැන මුල් වරට විචාරයක් කළ වියතාණන් ලෙස යක්කඩුවේ පඥාරාම නාහිමියන් සඳහන් කළ යුත්තේ ගෞරවයෙනි.

ධම්පියා අටුවා ගැටපදය යනු 10 වන සියවසේදී ලියන ලද්දක් බවත්, වෙස්සගිරි සෙල්ලිපි අයත් වන්නේ ක්‍රි. පූ. තෙවන සියවසට බවත් සැලකූ විට වසර 1300 ක් තිස්සේ සිංහල භාෂා ව්‍යවහාරය වෙනස් වී ගිය ආකාරය සිතා ගත හැකිය. එහෙත් ධම්පියා අටුවා ගැටපදයේ ඇතුළත් හෙළටුවා පාඨත්, වෙස්සගිරි ලිපිත් අයත් වන්නේ එකම කාලපරිච්ඡේදයකටය. ඒවා ධම්පියා අටුවා ගැටපදයේ සඳහන් වන්නේ උද්ධෘත ලෙස යැයි සැලකේ. එම පාඨ කීපයක් පහතින් උපුටා දැක්වෙන්නේ වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ සංස්කරණයක් වන යක්කඩුවේ නාහිමියන්ගේ ධර්ම ශාස්ත්‍රීය ලිපි නම් ග්‍රන්ථයේ දැක්වෙන ආකාරයටය. (පි. 109)

  1. හෙළ අටුවායෙහි අප්පමාදම්හි පණ්ඩිතා භජෙට් යූහු (පි. 79)
  2. යොගෙ සො හෙ වදානකි. උපද්දාව හිඳිමි මහ අටුවාහි ආ බැවින් (පි. 80)
  3. සාමාවතියා වත්ථු නාම පඨමං යි මහ අටුවාහි ආ බැවින් (පි. 80)
  4. හෙළ අටුවායෙහි ‘ප’ යනු හැර ජෙත්‍වාන මාරස්ස පුප්ඵකාති’ යි පාඨ ගත්හු (පි.105)
  5. සාලිත්‍ථක සිප්පෙ පයත් හකුරු ලන සිප්හි හෙළ අටුවායෙහි සාලින් තහක් කරන ලනක සිපැධි යෙත් (පි. 136)
  6. ලකුණටකො වද්‍රනකි රසස් නැමි යනු හෙළටුවායි. (පි. 148)
  7. රහද්‍රො වදානකි ද ආවාටහි නම් යනු හෙළටුවායි (පි 149)

(මෙහි පිටු අංක දක්වා ඇත්තේ මුද්‍රිත ධම්පියා අටුවා ගැටපදයට අනුවය.) හෙළටුවා යන වචනය ම විශේෂ අවධානය ලැබිය යුත්තකි. එහි ‘අටුවා’ යන්න පාලි ‘අට්ඨ කථා’ යන්නේ සිංහල මුහුණුවර දරන බව සාමාන්‍ය පිළිගැනීමය. සිංහලයට පෙරළීමේදී ‘අට්ඨ’ යනු ‘අටු’ විය හැකි වුවත් ‘කථා’ යන්න ‘වා’ වීම අභව්‍යය. මෙහි මුල් ස්වරූපය අට්ඨවාදී යන්න යැයි අප අනුමාන කරන්නේ ඒ අනුවය.

2 වන පාඨයෙහි එන ‘උපද්දාව හිඳිමි’ යන තැන ‘උපද්දාව’ යන්නෙහි අර්ථය පැහැදිලි නැත. එහෙත් හිඳිමි.’ යන්නේ අර්ථය අදත් වෙනස්වී නැත. මුළු වාක්‍යයම’ උපද්‍රව ඇතුව සිටිමි’ යන තේරුම දරන්නක් ලෙස ගතහොත් එහි ආඛ්‍යාතය වන හිඳිමි’ යන්න අදට ගැළපෙන තේරුමක් සහිතව එදා භාවිත වී ඇති බව පෙනේ. එය උත්තම පුරුෂ ඒකවචන රූපයයි. එය සිංහල ලේඛනයේ මුල් යුගයට අයත් බව ඉන් නිගමනය වෙයි. එහෙත් පාලියේ කවර හෝ ධාතු මූලයකට එය සම්බන්ධ කළ හැකි නොවේ. කෙසේ වුවද ඓතිහාසික හා තුලනාත්මක වාග් විiානුසාරයෙන් සිතා බැලූ විට ඉන්දු යුරෝපීය භාෂා ගණයේ පැරණි බස් වහරක් වන ජර්මන් බසේ (Sind) ‘සින්ඩ්’ යන්න ‘සිටියි’ යන අදහසට මෙහි යෙදී ඇති අයුරු පෙනේ. අපේ භාෂණය ජර්මන් බස් වහරට දැඩි ලෙස බලපෑ ඇති ආකාරය පැහැදිලිව දැක්වීමට උදාහරණ රාශියක් දැක්විය හැකිය. මූලය එසේ වුව ද ‘ම්’ යන ප්‍රත්‍යය අගට යෙදීමෙන් හෙළිවන්නේ ‘මහි’ ‘මි’ යන පද රූප අනුව එය සකස් වූ බවය. එම රූප අයත් වන්නේ පාලි ආඛ්‍යාතයේ උත්තම පුරුෂයටය.

5 වන ජේදයේ පැහැදිලිවම හෙළටුවා පාඨයක් ලෙස දක්වා ඇත්තේ “සාලින් තහක් කරන ලනක සිප්” යන්නය. මෙහි ‘සිප්’ යන් සිප්ප(පාලි) ශිල්ප (සංස්කෘත) පදවල සිංහල රූපය වෙයි. ධම්පියා අටුවා ආදී සන්නවල පාලි ව්‍යවහාරය ම ක්‍රමයෙන් සිංහල ඌරුව ගැනීමේ මුල් යුගය මෙයින් අනාවරණය වෙයි. ‘සාලින් යන තැන ‘වඳුරන්’ මිනිසුන් වැනි වර්තමාන අනුක්ත නාම පද රූපවල මුල් යුගයේ ස්වරූපය පෙනේ. ඒ අනුව සිංහලයේ ලේඛන රීතිය ක්‍රි. පූ. 3 වන සියවසේදී ද ස්වායත්ත ලක්ෂණ සහිතව වැඩී පැවතී ඇත.

ලබන සතියට…

ආචාර්ය ගැමුණු සිරි ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment