මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල් අවසන් වටයට ශ්‍රී ලංකාවේ වෙනුලි

799

ශ්‍රී ලාංකේය නාමය ලොවට ගෙන ගිය, සොඳුරු රුවැත්තියක වන වෙනුලි වික්‍රමසිංහ නම් වූ ඇය නෙදර්ලන්තයේ පැවති ‘මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල්’ තරගයට ඉදිරිපත්ව තරගකාරියන් රැසක් අභිභවමින් ඇල්බේනියාවේ ටිරාන් නගරයේදී පැවැත්වෙන ‘මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල්’ අවසන් මහා තරගය වෙනුවෙන් මෙරට නියෝජනය කිරීමට වාසනාවන්ත වූවාය.

කොළඹ නගරයේ ඉපදී වයස අවුරුදු හයක කුඩා දැරියකව සිටි අවධියේදී සිය පවුල සමග නෙදර්ලන්තයේ පදිංචියට ගිය ඇයගේ අනාගත පැතුම වූයේ මනෝවිද්‍යාඥවරියක වීමය.

එම සිහිනය ද සැබෑ කර ගැනීමේ අරමුණින් පසුවන ඇය අද සිය මව් රට නියෝජනය කරමින් ‘මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල්’ කිරුළ පැලඳීමේ අපේක්‍ෂාවෙන් පසුවන මොහොතක ‘දිවයින සිනමා කලා’ වෙතට මෙලෙස අදහස් දැක්වූවාය.

මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල් අවසන් වටයට ශ්‍රී ලංකාවේ වෙනුලි

‘මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල්’ අවසන් තරගයේදී මගේ උපන් රටට ගෞරවයක් දිනා දීම මගේ ඒකායන අරමුණ. මම මේ අවසන් තරගයට පැමිණීමට ප්‍රථම නෙදර්ලන්තයේදී ‘මිස් ග්ලෝබ් ශ්‍රී ලංකා’ කිරුළ දිනාගනු ලැබුවා.

ඇල්බේනියාවේදී අවසන් මහා තරගය පැවැත්වෙන්නේ මේ මාසයේ 15දා. රටවල් හැටකට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් තරගකාරියන් ඉදිරිපත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී තරගකාරියක් ලෙස ඇය දක්වන අදහස් කෙරෙහි තීරක අවධානය යොමු වෙනවා. ශ්‍රී ලංකා රූ රැජනක් ලෙස එහිදී මම කියන්න අදහස් කරනවා ලෝකයේ දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථාව බලාපොරොත්තු වන බව. ළමා අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ සන්නාම තානාපතිනිය ලෙස මම මේ මොහොතේ කටයුතු කරමින් පසුවෙනවා. කෙසේ හෝ මෙම අවසන් තරගය ජයග්‍රහණය කර, මගේ මව්බිම වන ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ගෞරවයක් දිනා දීම මගේ එකම බලාපොරොත්තුවයි.

සුජීව


advertistmentadvertistment