විහාරයේ ඉඩම වෙනත් පාර්ශ්වයකට පවරන්න බෑ
බෞද්ධ මහා සම්මේලනය යාපනය දිසාපතිට කියයි
යාපනය කන්කසන්තුරේ පිහිටි තිස්ස විහාරය සතු අක්කර 14කින් යුත් ඉඩම වෙනත් පාර්ශ්වයකට පැවරීමට නොහැකි බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය යාපනය දිසාපතිවරයා වෙත පෙරේදා (08 දා) දැනුම් දී තිබේ.
මෙම විහාරස්ථානය ඉදිකොට ඇති ඉඩම පෞද්ගලික ඉඩමක් බවත්, අයිතිකරු සතුව බලපත්‍ර ඇති නිසා ඉඩම අයිතිකරුට පවරාදෙන ලෙසත්, යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඉල්ලීම් ලැබී තිබුණි.
ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම එම සාකච්ඡාවේදී ඔහුගේ විරෝධය පළකිරීම නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ පිළිබඳව සොයා බලා සාධාරණයක් ඉටු කරන ලෙස නිලධාරීන්ට දැනුම් දීමක් කළේය.
ඒ අනුව යාපනය දිසාපතිවරයා ඉඩම ආපසු ලබා දීමට කැමැත්තක් දක්වන්නේ දැයි කළ විමසීමට පිළිතුරු ලබා දෙමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මේ පිළිතුර ලබා දී තිබේ.
ඊට පෙර ඉඩමේ අයිතිකරු බව කියන පුද්ගලයාට වෙනත් විකල්ප ඉඩමක් ලබාදීමට දිසාපතිවරයා කැමැත්ත විමසූ අවස්ථාවේදී ඊට ඔහු එකඟ නොවීම නිසා තිස්ස විහාරයේ ඉඩම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් නිර්මාණය වී තිබේ.
මේ වනවිට එම විහාරස්ථානයේ බෞද්ධ ඉදිකිරීම් රෑසක් ඉදිකොට අවසන් නිසා එම ඉඩම සාමාන්‍ය පුද්ගලයෙකුට පරිහරණය කිරීමට නොහැකි බව යාපනය දිසාපතිවරයා ඉඩමේ අයිතිකරුට පෙන්වා දී ඇතත් ඔහු ඒ ඉඩමම ඉල්ලා සිටින්නට පටන්ගෙන තිබේ.
විහාරය සතුව ඇති ඉඩම අක්කර 14 ක් වන අතර ඊට උරුමකම් කියන පුද්ගලයාට එම ස්ථානයෙන් අයත්ව ඇත්තේ ඉඩම් අක්කර එකක ප්‍රමාණයකි.
තිස්ස විහාරය සතු අක්කර 14ක ඉඩමේ අක්කර 7 ක වපසරියක ගොඩනැඟිලි ඉදි වී ඇති අතර අනෙක් කොටස විහාරස්ථානයේ ප්‍රයෝජනයට යොදා ගෙන තිබේ.
ගොඩනැඟිලි නොමැති එම කොටස අත්පත් කර ගැනීම සඳහා එම ඉඩමට උරුමකම් කියන පුද්ගලයා දැඩි තීරණයක් ගෙන සිටින්නේ දේශපාලන උසිගැන්වීමක් මත බව පැහැදිලි වී තිබේ.
දිනසේන රතුගමගේ