සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග ලබාදීමේදී පරිත්‍යාගශීලීන් ද සතුටු වන ආකාරයේ විශේෂ වැඩපිළිවෙළක් තිබිය යුතුයි

60

එවැනි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කළ යුතුයි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල

සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග ලබාදීමේදී පරිත්‍යාගශීලීන් ද සතුටු වන ආකාරයේ විශේෂ වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එවැනි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛi පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව අවධාරණය කරන ලද්දේ පෙරේදා (05දා) මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ පැවති විශේෂ උත්සවයකට සහභාගි වෙමිනි.

මීගමුව දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ “මෙල්වා” සමූහ ව්‍යාපාරයේ රුපියල් මිලියන 200කට අධික මූල්‍ය ධන පරිත්‍යාගයෙන් 2017 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භ කර 2019 වර්ෂයේදී සුව සත්කාර සේවා සඳහා එක්කරන ලද ඇඳන් 100කට අධික ධාරිතාවකින් සමන්විත දෙමහල් අංගසම්පූර්ණ ළමා වට්ටු සංකීර්ණය (සුරක්ෂා ළමා සෙවණ) ඉදිකර වසර පහක් පිරීම නිමිත්තෙන් මෙම විශේෂ සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.

ඉදිරි වසර පහක කාලය සඳහා මෙම වාට්ටු සංකීර්ණයේ නඩත්තු කටයුතු, ආරක්‍ෂක කටයුතු,

රෝගීන්ගේ ඇඳ ඇතිරිලි පිරිසිදු කිරීම, වාට්ටු පිරිසිදු කිරීම යන කටයුතු මෙල්වා සමූහ ව්‍යාපාරය මගින් සිදු කිරීම සඳහා අවබෝධතා ගිවිසුම්ගත වීමද මෙහිදී සිදුවිය. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ මෙල්වා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ පී. පී. මුරුගනාදන් මහතා ගිවිසුමට අත්සන් තබන ලද අතර පසුගිය වසර පහක කාලය ද මෙම කටයුතු සඳහා දායකත්වය මෙල්වා සමූහ ව්‍යාපාරය විසින් දරා ඇත.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියේ, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටලුවලට මුහුණ දීමට තමන් හට සිදුවූ බවත්, පරිත්‍යාග ලබාදීමට පරිත්‍යාගශීලීන් විශාල ප්‍රමාණයක් රට තුළ කැමැත්තෙන් සිටින බවත් ඔවුන් හට බාධාවකින් තොරව එම කටයුතු සිදුකිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසය.

මෙල්වා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ පී. පී.

මුරුගනාදන් මහතා මෙහිදී පවසා සිටියේ, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ විශේෂ කැපවීම හා උත්සාහය මත මෙම දෙමහල් අංග සම්පූර්ණ ළමා වාට්ටු සංකීර්ණය (සුරක්ෂා ළමා සෙවණ) රෝහලට ලබා දීමට කටයුතු කළ බවය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, මේ රටටත්, පරිත්‍යාගශීලීන්ගෙන් නම් අඩුවක් නොමැති බවත්, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා සඳහන් කළ සේම එවැනි පරිත්‍යාග ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, පරිත්‍යාග ලබා දීමට පැමිණෙන පරිත්‍යාගශීලියා ද සතුටු වන ආකාරයේ විශේෂ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කළ යුතු බවත්, පසුගිය කාලයේ එවැනි විශාල දානපති පරිත්‍යාග සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට ලැබුණු බවද සිහිපත් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ජාතික සෞඛ්‍ය අරමුදලක් පවත්වාගෙන යන බවත්, එයට දානපතියන් මුදල් ලබාදෙන බවත්, මේ වන විට එම අරමුදලේ බිලියන 1.5ක මුදලක් තිබෙන බවද කීය. එම අරමුදල් වියදම් කරන්නේ එම මුදල් ලබා දෙන දානපතියාගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට පමණක් බව සිහිපත් කළ ලේකම්වරයා, අමාත්‍යාංශයේ අරමුණුවලට නොව දානපතියන් කැමති රෝහලේ ව්‍යාපෘති, යෝජනා සඳහා ඒ මුදල් ලබාදෙන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

මෙම අවස්ථාවට මීගමුව දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත තෙන්නකෝන්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් වන ලක්කුමාර් ප්‍රනාන්දු, හිමාලි විජේසිංහ, ලක්ෂිකා විජේසිංහ, මෙල්වා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය නියෝජනය කරමින් පී. පී. දේව්රාජ්, පී. පී. කුමාර්, පී. පී. අරූන්, පී. පී. මුනිචන්‍ද්‍ර යන මහත්වරුන් ද විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment