රජයේ ඉඩම් හොයන්න ගිය කෝටි 19ක් බොල් වෙලා

71

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් රජයේ ඉඩම් කළමනාකරණ පද්ධතිය (E-slim) සඳහා ඉකුත් වසර දහයක කාලයේ දී රුපියල් දහනම කෝටි තිස්ලක්ෂ අසූහය දහස් පන්සිය විස්සක මුදලක් (193,086,520) වැයකොට ඇතත් පළාත්, දිස්ත්‍රික්ක හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සමස්ත රජයේ ඉඩම් ප්‍රමාණය හා ඉන් බැහැර කර ඇති හෝ නොමැති ප්‍රමාණය නිශ්චිතව හඳුනා ගෙන නොමැති බවට අනාවරණය වී ඇත.

රජය සතු ඉඩම් ප්‍රමාණය කොපමණ ද යන්න දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් හඳුනා ගෙන නොතිබුණි. ලේඛන අනුව දැනට පවත්නා ඉඩම් ප්‍රමාණය කොපමණ ද යන්න හඳුනා ගැනීම සඳහා ඉඩම් සම්බන්ධ තොරතුරු පවතින ආයතන සමග සම්බන්ධ වෙමින් මෙකී පද්ධතියේ කටයුතු ඉටුකිරීමට ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කර නොතිබුණි.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රජයේ ඉඩම් කළමනාකරණ පද්ධතිය 2016 වර්ෂයේ දී ජාතික සැලසුම් දෙපාර්තමෙන්තුවේ අනුමැතිය සහිතව ආරම්භ කර තිබුණි. මෙකී පද්ධතියේ නඩත්තු සේවා කටයුතු සහ වැඩිදියුණු කිරීමට පෞද්ගලික ආයතනයක් සමග වසර තුනක් සඳහා ගිවිසුම්ගත වී තිබුණි. එම ගිවිසුම අනුව වාර්ෂිකව රුපියල් හතලිස් නවලක්ෂ පනස්දහස බැගින් (4,950,000) එම ආයතනයට ගෙවීම් කිරීමට ගිවිසුම්ගත වී තිබුණි. මෙකී ව්‍යාපෘති යෝජනාව අනුව මේ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 119.6ක් වූ අතර ව්‍යාපෘතිය වසර පහකදී අවසන් කිරීමට නියමිතව තිබුණි. ගිවිසුම් කාලය 2022 වර්ෂයේ ජුලි මස 11 වැනිදා අවසන් වුවද ප්‍රසම්පාදන කමිටුවේ ආවරණ අනුමැතියට යටත්ව වර්ෂයක් සඳහා රුපියල් හතළිස් නව ලක්‍ෂ පනස් දහසක මුදලක් ගෙවා තිබුණි.

මෙකී ව්‍යාපෘතියට ලබා දුන් ටැබ් පරිගණක සඳහා වූ මාසික ඩේටා ප්‍රමාණය සීමා කර නොතිබුණි. නියැදි විගණන පරීක්ෂණයට අනුව ඉකුත් වර්ෂයේ මැයි හා ජුනි මාසවල දී මාසික ඩේටා ප්‍රමාණයට වඩා ඩේටා භාවිතා කළ සිම්පත් කාඩ් පත් 60ක් විය. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් 827,331කි. ඉන් සිම් කාඩ්පත් අටක් වෙනුවෙන් රුපියල් 266,923ක මුදලක් වැය කර තිබුණි.

මෙම තොරතුරු අනාවරණය වන්නේ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment