තිස් වසරක් මෙරට වෙළාගෙන තිබුණු එල්ටීටීඊ ත්‍රස්තවාදය අවසන් වූයේ ජීවිත රැසක් ලක්මාතාවට අහිමි වෙමිනි. තවත් ජීවිත රැසක් ආබාධිත තත්ත්වයට පත්විය. මේ බිහිසුණු යුද්ධයේදී එල්ටීටීඊය මුලිනුපුටා දැමීමට ශ්‍රී ලංකා යුද හමුදාව අපමණ වෙහෙසක් ගත්හ. එම විශිෂ්ට මෙහෙයුමේදී ඊට නායකත්වය දුන් රෙජිමේන්තු අතර විජයබාහු පාබල රෙජිමේන්තුව කිසිසේත්ම අමතක කළ නොහැක. එම රෙජිමේන්තුවේ ආදර්ශ පාඨය වන “තම උපායේත් ශිල්පයේත් අති දක්ෂයකුට ඉසිලිය නොහැකි බර කුමක්ද” යන පාඨයට සියයට සියයට සීයක්ම සාධාරණය ඉටුකළ නිලධාරියෙක් පසුගියදා සේවයෙන් ඉසිඹු ලැබුවේය. ඒ එම රෙජිමේන්තුවේ අධිපති ධුරය දැරූ මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතායි.
මව්බිම වෙනුවෙන් සිය යුතුකම් වගකීම් මැනවින් ඉටු කළ මේ සෙන්පතියා පසුගිය අගෝස්තු 18 වැනිදා විශ්‍රාම ගන්නා විට වසර 36 ක් තම සේවය ශ්‍රී ලංකා යුද හමුදාව වෙත නොපිරිහෙළා පරිත්‍යාග කොට තිබිණි.
1968 අගෝස්තු මස 19 වන දින උපත ලැබූ නිශාන්ත මානගේ මහතා ත්‍රිකුණාලය ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සහ සිංහල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව නාරම්මල මයුරපාද විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබීය. එවකට රට තුළ පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් වෙනත් විශ්වවිද්‍යාලයකට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාවද පසෙකලමින් තම රට වෙනුවෙන් ඉටුකළ යුතු මෙහෙවර ඉටුකිරීම උදෙසා 1987 ජුලි මස 21 දින ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වෙත ඇතුළත්ව පාඨමාලා අංක 5 සමගින් සාර්ථක පුහුණුවකින් පසු මූලික උපාධියද සමග විසිර යන ලදී. ඔහු සමග කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පුහුණුව ලැබූ සමකාලීනයකු වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිවරයා. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පුහුණුව අවසන්ව ශ්‍රී ලංකා නාවික හමුදාව හෝ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඇතුළත්ව රාජකාරි කිරීමට තිබූ අවස්ථාවන්ද පසෙක දැමූ මේ සෙන්පතියා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ඇතුළත්ව එවකට අලුතින් ආරම්භ කරන ලද විජයබාහු පාබල රෙජිමේන්තුවට ඇතුළත් වන ලදී. පසුව විජයබාහු පාබල රෙජිමේන්තුවේ 1 වන බළඇණිය වෙත ඇතුළත්ව එම බළඇණියේ කණ්ඩභාර නිලධාරි තනතුරේ සිට අණදෙන නිලධාරි දක්වා සියලුම තනතුරු හොබවමින් ඉතා සුවිශේෂී වූ මෙහෙවරක් යුද්ධ හමුදාවටත් පොදුවේ ශ්‍රී ලංකා දේශයටත් ඉටුකර ඇත.
මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා අණදීම්වලට අමතවරව මාණ්ඩලික නිලධාරියකු ලෙසත් නිලධාරි උපදේශකවරයකු ලෙසත් ඉතා සුවිශේෂි කාර්යභාරයක් ඉටුකර ඇත. 2006දී යාපනය අර්ධවීපය යළි අත්පත් කර ගැනීමට එල්ටීටීඊ සංවිධානය මුහමාලේ ඉදිරි ආරක්‍ෂක වලල්ල වෙත පහර දී එය තම ග්‍රහණය වෙත ලබාගෙන මෙහෙයුම් තවදුරටත් ඉදිරියට කරමින් සිටි අවස්ථාවේදී මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ගේ නායකත්වයෙන් එවකට ගුවන් සංකුමික බළසේනාව යටතේ රාජකාරි ඉටුකරනු ලැබූ 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් එල්ටීටීඊ සංවිධානයට විශාල ප්‍රහාරයක් ඔවුන් වෙත එල්ල කර නැවත ඉදිරි ආරක්‍ෂක වලල්ල හමුදාව යටතට ලබාගැනීමට කටයුතු කළේය.
මෙම සටනේදී ඔහුගේ නායකත්වයෙන් යුතු 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු සොල්දාදුවන් මුහමාලේ ඉදිරි ආරක්‍ෂක වලල්ල නැවත අත්පත් කර නොගන්නට ශ්‍රී ලංකා ඉතිහාසය අදට වඩා වෙනස් මුහුණුවරක් ගැනීමට ඉඩ තිබුණි. එම සටනේදී දක්වන වීරත්වය වෙනුවෙන් මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ හට වීර වික්‍රම විභූෂණ පදක්කම හිමිගන්වන ලදී.
බළඇණි අණදෙන නිලධාරි තනතුරට අමතරව බළ සේනාධිපති තනතුරෙත් 53 සේනාංකයේ සේනාංකාධිපති තනතුරේත් විශ්‍රාම යෑමට ප්‍රථම ශ්‍රී ලංකා ස්වෙච්ඡා බළසේනාවේ සේනාවිධායක තනතුරේත් අණදීම් සිදුකර ඇත.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි ලෙස ඔහු සිදුකරන ලද සේවය ආරක්‍ෂක හමුදාවලින් ඔබ්බට ගොස් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මට්ටමෙන්ද අගය කර ඇති අතර යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රියාන්විත කටයුතු සහ පුහුණුවීම් කටයුතු මෙහෙයවමින් යුද්ධ හමුදාධිපති වෙත ලබා දෙන ලද සේවාව ඉතා විශිෂ්ටය.
පසුගිය වකවානුවේ රජය විසින් ක්‍රියාත්මක කළ අත්‍යවශ්‍ය භාණ්ඩ, ඉන්ධන නිසි පරිදි රට තුළ බෙදාහැරීම සඳහා ක්‍රියාත්මක කළ යාන්ත්‍රණය වෙත අවැසි ආරක්‍ෂාව සම්බන්ධීඛරණය කරමින්ද යම් යම් ගැටලුකාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා සක්‍රීයව දායක වෙමින්ද ඔහු ඉතා විශිෂ්ට සේවාවක් සිදුකළේය.
ඊට පරිබාහිරව යුද්ධ හමුදාව තුළ දක්‍ෂ උපදේශකයකු ලෙස ප්‍රචලිත මෙතුමා දියතලාව කෙඩෙට් නිලධාරි පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙසත්, බටලන්ද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පළමුව උපදේශකවරයකු ලෙසත් පසුව එම පාසලේම යුද්ධ හමුදා උපදේශකයන්ගේ ප්‍රධානියා ලෙසත් ඉතා දක්‍ෂ හා අප ආරක්‍ෂක අංශ වෙත අවැසි නායකයන් පුහුණු කරමින් ආරක්‍ෂක අංශයන්හි අනාගතය සවිමත් කිරීමේ ඉතා වටිනා කාර්යභාරයක් ඉටුකරන ලදී. පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම පුහුණු ආයතන මෙහෙයවන ලද පුහුණු අණසකහි ආඥාපතිවරයා ලෙසද ඉතා විශිෂ්ඨ සේවාවක් ඔහු ඉටුකර ඇත.
පාඨමාලා සහ උපාධි රැසක් සම්පූර්ණ කර ඇති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා ඉතා පරිනත දැනුම් සම්භරයක් සහිත නිලධාරිවරයකි. ඇමරිකා එක්සත් ජනපදයේ නාවික පශ්චාත් උපාධි ආයතනය වෙතින් ප්‍රතිත්‍රස්ත සහ උපායමාර්ග සබැඳි වූ විද්‍යාවේදී උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලය වෙතින් ආරක්‍ෂක විද්‍යාවේදී උපාධිය ඇතුළු උපාධි විශාල ප්‍රමාණයක් ලබා ඇත. ඊට අමතරව එතෙරදී සහ මෙතෙරදී නිලධාරියකු විසින් හැදෑරිය යුතු සියලුම පාඨමාලා හදාරා මනා නිපුනත්වයක් ලබා ඇත. තවද මෙම නිලධාරි ප්‍රතිත්‍රස්ත සහ උපායමාර්ගික විෂය සබැඳිව මනා දැනුම් සම්භාරයකින් හෙබි නිලධාරියකු වේ.
විශ්‍රාම ගන්නා විට විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස එම පාබල රෙජිමේන්තුව යුද්ධ හමුදාවේ අනෙකුත් රෙජිමේන්තු වෙත නොදෙවෙනි සියලු පහසුකම් වලින් සමන්විත රෙජිමේන්තුවක් ලෙස දියුණු කිරීම සඳහා මහඟු සේවයක් සහ නායකත්වයක් මෙම නිලධාරි විසින් ඉටුකර ඇති අතර තමන් යටතේ රාජකාරි ඉටුකරන සියලු නිලයන් වෙත නිවැරදි නායකත්වය ලබාදෙමින් රෙජිමේන්තුවේ යටිතල පහසුකම් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා මෙම නිලධාරි ප්‍රමුඛත්වය ලබාදී ඇත.
දැනුමින් පරිපූර්ණ ඉතා විශිෂ්ට අණදීමේ ශක්තියකින් හෙබි අවස්ථානුකූලව නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ඇති ඉතා දක්‍ෂ උපදේශකවරයකුගේ සේවය අහිමිවීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවටත් පොදුවේ මුළුමහත් ශ්‍රී ලංකාවාසීන්ටත් දැරිය නොහැකි පාඩුවකි.
සිරිමන්ත රත්නසේකර