රටට සතුට අරන් ආ නෑදෑ ගමන

494

ඉන්දියාව අපේ අසල්වැසි රාජයය වේ. පෝක් සමුද්‍ර සන්ධියේ සිට ඉන්දියාවට ඇත්තේ කිලෝමීටර් 42 කි. ලෝක සිතියමේ තිතක් බඳු අපේ රටට උඩින් දැවැන්තයකු සේ විරාජමානව සිටින ඉන්දියාව ආසියාවේ දැවැන්තයෙකි. ලෝකයට ද සිය දැවැන්ත කම් ප‍්‍රදර්ශනය කරන මේ අසල්වැසි රාජයය නියෝජනය කරමින් ශ‍්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායම පෙරළා සිය රටට ගියේය.

කොතරම් අසල්වැසියා වුවද, විශ්වයෙන් ලද විශිෂ්ටතම දායාදය වූ බුදුදහම ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට උරුම වුවද, රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා සියවස් ගණනක් එපිටට ඇදී ගිය ද, දුකක් කරදරයක් වූ විට හඬ ගා කියන්නේ ඔවුන්ට වුවද, ක‍්‍රිකට් සම්බන්ධයෙන් ඉන්දියාව පිළිබඳව ශ‍්‍රී ලංකාවට ඇත්තේ එතරම් ලෙංගතු, ලයාන්විත සබඳකමක් නම් නොවේ. ඉන්දියාව කුමන රටකින් පරාජයට පත් වුවත් ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් පේ‍්‍රක්‍ෂකයෝ සැනසෙති. ඔවුන් බහුතරයක් බලා සිටින්නේ ඉන්දියාව දිනනවා දැකීමට නොව පරදිනවා දැකීමටය.

sathuta2

එහෙත් එය තරහක් හෝ වෛරයක් පිරිමැසීමක්් නොවන බව කිව යුතුය. ඉන්දියාව සහ පකිස්තානය අතර පවතිනවා මෙන් රුධිරයේ සිට දුවන ජන්මාන්තර වෛරයක්, සටනක් නම් නොවේය. ඔවුන් වෙත අපේ රටේ ඇත්තේ නිහඬ විරෝධයකි. ඊට හේතු ලෙස පේ‍්‍රක්‍ෂකයෝ නොයෙක් කතා හදා ගෙන සිටිති. ඔවුන්ගෙන් ඇතැමෙකුට කෝලිව පෙන්වන්න බැරිය. දෝනි ඉන්න තාක් කල් ශ‍්‍රී ලංකාවට රිදෙන්නට ගැසුවේය. යුවරාජ් සිං ගේ,හර්බජාන් සිංගේ, ඉෂාන් ෂර්මාගේ මුහුණ දකින විට ශ‍්‍රී ලාංකික පේ‍්‍රක්‍ෂකයන්ට නිකන්ම තරහක් ඇති වන්නා සේ ය. අපේ පන්දු යවන්නෙකුගේ හොඳ පන්දුවකට ඕන්ඩ‍්‍රයිව් පහරක් ගසා එය හතරේ සීමාවටත් යන්නට පෙර අත රැඳි ග්ලවුස් එකෙන් මුහුණත් නිකටත් පිහදාන කෝලිට අතට අහුවෙන එකෙන් ගසන්නට සිතෙන පේ‍්‍රක්‍ෂකයෝ ශ‍්‍රී ලංකාවේ සිටිති.

එසේ මතක් කරන විටත් කෙසේ හෝ පරාද කළ යුතු යැයි සිතෙන තරමේ හැඟීමක් සිතෙහි උපදින ඉන්දීය කණ්ඩායම පසුගිය ක‍්‍රිකට් සංචාරය සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණියේ ජුනි මස 28 වැනිදාය. ඒ දින 14 ක් පුරා මුම්බායිහිදී නිරෝධායනය වීමෙනි. විරාත් කෝලි ප‍්‍රමුඛ තවත් කණ්ඩායමක් ඒ වනවිට එංගලන්තයේ සංචාරයක නිරතව සිටි නිසා ශ‍්‍රී ලංකාවට පැමිණි කණ්ඩායමේ නායකත්වය ශිකර් ධවාන් ට හිමිවිය. තරගාවලිය ආරම්භ කරමින් ජූලි 13 වනදා ප‍්‍රථම එක්දින තරගය පැවැත්වීමට නියමිත වුවත් කොවිඞ් ප‍්‍රශ්නයත් ඊට බලපෑවේය. එයට හේතුව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග‍්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත පරීක්‍ෂකවරයකුට කොවිඞ් 19 වැළඳීම හේතුවෙනි. තරගාවලියේ ආරම්භය ජූලි 18 වැනිදාට කල් ගියේය.

ජුනි 28 වැනිදා දිවයිනට පැමිණි ඉන්දීය කණ්ඩායම දින 20 කට පමණ පසුව එනම් ජූලි 18 වැනිදා පළමු තරගයට සහභාගි වූවේය. පන්දුවාර 20 – 20 තරගාවලිය ජූලි 25 වැනිදා ඇරැඹිනි. එක් තරගයක් පමණක් ක‍්‍රීඩා කිරීමෙන් පසුව තරගාවලියට යළිත් කොවිඞ් බලපෑම් එල්ල විය. ඒ දෙවැනි පන්දුවාර 20 – 20 තරගයට පෙරදින එනම් ජූලි 27 වැනිදා උදෑසන සිදුකළ කොවිඞ් පරීක්‍ෂණයේදී ඉන්දීය තුන් ඉරියව් ක‍්‍රීඩක කෘනාල් පානඩ්‍යා හට කොවිඞ් 19 වැළඳීමෙනි. ඉන්දීය කඳවුරට ඉන් සිදු වූ බලපෑම අති විශාලය. එය ඔවුන්ට ප‍්‍රබල පාඩුවක් විය. තරගාවලිය අතර මඟ නතර කර ඔවුන්ට යළි සිය රට බලා යෑමට එය වුවමනාවටත් වඩා හේතු සාධකයක් විය. මන්ද කෘනාල් පාන්ඩ්‍යාගේ ආශ‍්‍රිතයන් ලෙස තවත් ක‍්‍රීඩකයන් 8 දෙනකු නිරෝධායනයට ලක් කිරීම නිසාවෙනි. ඔවුන් අතර ඉන්දීය කණ්ඩායමේ ප‍්‍රබල තුන් ඉරියව් ක‍්‍රීඩක හාර්දික් පාන්ඩ්‍යා සිටියේය. දඟ පන්දුවෙන් ශ‍්‍රී ලංකාව අමාරුවේ දැමිය හැකි යුෂ්වේන්‍ද්‍ර චහාල් සිටියේය. දෙවැනි එක්දින තරගයේදී ශ‍්‍රී ලංකාව අත තිබූ ජයග‍්‍රහණය උදුරා ගැනීමට සමත් වූ දීපාක් චහාර් සිටියේය. ශ‍්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයේදී වේගවත් අර්ධ ශතකයක් වාර්තා කළ ඉෂාන් කිෂාන් සිටියේය. මනීෂ් පාණ්ඬේ සහ කේ. ගව්තම් යන අයිපීඑල් ප‍්‍රබලයෝ සිටියහ. ප‍්‍රිතිව් සෝ, සූර්යකුමාර් යාදව් සිටියහ. ඔවුන් නැති වීමෙන් ඉන්දියාව කර කියා ගන්න දෙයක් නැතිව සිටියත් ඔවුහු තරගාවලිය අතරමඟ නතර නොකළහ. මේ හේතු ඉදිරියට දාගෙන ඔවුන් අතරමඟදී තරගාවලිය දාලා පැනලා ගියා නම් කර කියා ගන්න දෙයක් නැති වන්නේ ඉන්දියාවට නොව අපටය.

sathuta3

කොවිඞ් මාරයා සමඟ සටන් කරමින් සිටින ශ‍්‍රී ලංකාව ආර්ථිකය අතින් දරුණු ව්‍යසනයකට පත්ව ඩොලර් අහේනියකට නතුව සිටියදී ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට ලැබුණු මේ තරගාවලිය රටේ පිනට පහළ වූවකි. එය නිකම්ම පහළ වූවක් ද නොවේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානී ශම්මි සිල්වා මහතා ඉන්දියාව සහ අයිසීසී සමඟ ගොඩනගාගෙන ඇති යහපත් සබඳතාවල ප‍්‍රතිඵලයක් මත ලැබුණු සංචාරයකි. ඔහු නොවන්නට ඉන්දියාව මේ මොහොතේ ලංකාවට එන්නේ නැත. ඔවුන් පැමිණි ගමන ද අතරමඟ නතර කර යන්නට පුළුවන්කම තිබුණද, ඉහත කී සබඳතාවයේ තරම කෙතරම් ද යත් ඉන්දියාව ශ‍්‍රී ලංකාවට රිදවන්නට කටයුතු කළේ නැත. මේ සංචාරයෙන් ශ‍්‍රී ලංකාවට ලැබුණු ඩොලර් ගණන මිලියන 10 කි. රුපියල් වලින් කෝටි දෙසීයකට වැඩිය. ක‍්‍රීඩකයෙන් 9 දෙනෙක් නිරෝධායනයට යෙද වූ විට හෝ ඔවුන් නැවත ඉන්දියාවට ගියේ නම් අපට ඒ මුදලින් ඩොලර් මිලියන 4 ක් පමණ අහිමි වේ. එය රුපියල් වලින් කෝටි අසූවකට වැඩිය. අවසානයේ ශ‍්‍රී ලංකාවට සියලූ මුදල් ද ලැබිණි. ඉන්දියාව සමඟ වැඩි හිත හොඳක් ද ඇතිවුණි. දෙවසරකට පසුව ජයග‍්‍රහණයක් ද ලැබුණි.

ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය එදා (29 වැනිදා) විදුලි බුබුළුවලින් ආලෝකවත් වූවාටත් වඩා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආනාගතයට ආලෝකය උදාකර දුන් සංචාරයක් එසේ නිමා වූවේය. ඉන්දියාවට එරෙහි පළමු පන්දුවාර 20 – 20 තරගාවලිය ජයග‍්‍රහණය මෙන්ම දෙවසරකට පසුව ලද පළමු පන්දුවාර 20 – 20 තරගාවලි ජයග‍්‍රහණය මෙන්ම වසර 13 කට පසුව කිසියම් හෝ තරග රටාවකින් ශ‍්‍රී ලංකාව තරගාවලියකින් ඉන්දියාව එදා පරාද කළේය. එමෙන්ම තවත් වටිනා දේවල් සිදුවිය. ඉන්දිය පුහුණුකරු රාහුල් ද්‍රාවිඞ්ගෙන් ශ‍්‍රී ලංකා නායකයාට මහත් වටිනා අදහස් උපදෙස් ලැබිණි. ඉන්දීය නායක ශිකර් ධවාන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට තමා දන්නා දෙය කීවේය. හැදෙන හැටි කියා දුන්නේය. හර්දික් පාණ්ඩ්‍යා චාමික කරුණාරත්නට දුන්නේ පිත්තක් වුවද එය සහෝදරත්වයේ හස්තය ඉන්දියාවේ සිට ශ‍්‍රී ලංකාවට දිගු කළ අවස්ථාවකි. සහෝදරත්වයේ හස්තයෙන් සමස්තයට බැඳුණු තරගාවලියක් නිමාව සනිටුහන් කරමින් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ විදුලි බුබුළු යළිත් දැල්වෙනු ඇත.

– කුෂාන් සුබසිංහ


advertistmentadvertistment