රටේ ආර්ථික පරිහානියට ගෝඨාභය මහින්ද බැසිල්ලා වගකිව යුතුයි -ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

487

පෙත්සම්කරුවන්ට වන්දි ගෙවීමටත් නියෝග

රට තුළ සිදුවූ ආර්ථික පරිහානියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ, හිටපු මහා භාණ්ඩාගාර ලේකම්වරුන් වන ආචාර්ය පී. බී. ජයසුන්දර, එස්. ආර්. ආටිගල, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන ඩබ්ලිව්. ඩී. ලක්‍ෂ්මන් හා අජිත් නිවාඩ් කබ්රාල්, සේවක අර්ථසාධක අරමුදලේ නියෝජිතයකු වන සමන් කුමාර හා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14දා) තීරණය කළේය.

එකී වගඋත්තරකරුවන් වෙන් වෙන්ව පෙත්සම්කරුවන්ට රුපියල් එක්ලක්‍ෂ පනස් දහස බැගින් වූ වන්දි ගෙවිය යුතු බවට ද නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම වන්දි මුදල ඊයේ (14දා) සිට මාසයක කාලයක් ඇතුළත ගෙවිය යුතු බවට ද නියෝග කළේය.

රටේ ආර්ථිකය නගාසිටුවීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ වගකීම මහජනතාව විසින් පවරා තිබූ එවකට රටේ පාලන බලය හෙබවූ දේශපාලන අධිකාරිය නියෝජනය කළ වගකිවයුතු තනතුරු දැරූ නිලධාරීන් පෙර කී වගඋත්තරකරුවන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාප රට එවන් ආර්ථික පරිහානියකට ඇද දැමීමට හේතුපාදක වී ඇතැයි ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමේදී තම අධිකරණයට පැහැදිලි වන බව පෙන්වා දුන් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ විනිසුරුවරුන් සිවුදෙනකුම තීරණය කර එකී නියෝග නිකුත් කර තිබේ.

විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මහිම් මෙන්ඩිස් මහතා එක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබූ අතර ජාත්‍යන්තර පිහිනුම් ශූර ජුලියන් බෝලින්, ජෙහාන් කනගරත්නම් හා චන්ද්‍රා ජයරත්න යන මහත්වරුන් අනෙක් මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කොට තිබිණි. එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් කේ. මලල්ගොඩ හා මුර්දු ප්‍රනාන්දු යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී විභාගයට ගෙන තීන්දුව නිකුත් කෙරිණි.

චන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් පරිදි නීතිඥ චින්තක ප්‍රනාන්දු, එස්. ඒ. බිලින්, මයිසා දිසානායක හා නීතිඥ සයුරි දිසානායක යන නීතිඥ මණ්ඩලය සමග ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment