මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන්

213

මීයෙක්

රෑ මැදියම පහුවෙලා වෙන්න ඕන. මං සිටියේ ඇඳට වෙලා හිසේ සිට පාදාන්තය තෙක් පොරවාගෙන. එළියේ වහිනවා ඇහෙනවා. වහින හඬ අහන්න අමාරුයි. වැහි හඬ එක්ක ඇහෙන්නෙ ගේදොර යටවෙන මිනිසුන්ගේ අඳෝනාව. එදා වේල සරිකර ගන්න බැරිව භය බිරාන්ත වෙලා ඉන්න වීදි වෙළෙඳුන්ගේ, කුළී වැඩකාරයන්ගේ කෙඳිරිය. අහන්න අමාරු අඳෝනා, කෙඳිරිලි නෙවෙයි. මං යටිහිතින් කැමතියි ඒවාට. ගෙවල් යට වෙනකොට මට සතුටුයි. ගණන් උස්සන කුළී වැඩකාරයෝ, හොර වෙළෙන්දෝ මට පේන්න බෑ. උන්ගේ එදා වේල නැති වෙනවා දකින තරම් ජොලියක් මට නෑ. ඒත් කාරණය මට සද්ද එක්ක නින්ද යන්නෙ නෑ. නින්දක් නැතුව පහුවදා දවස ගෙවාගන්න බෑ. ඉතිං මං ඇඳේ ගුලි වෙලා නිදාගන්න බැලුවා. ඒත් ටික වෙලාවයි ගියේ. වැහි හඬ පරයමින් මට කීක් කීක් ගාන සද්දයක් ඇහුණා. මං හිතුවා රැහැයියො වෙන්න ඇති කියල. ඒත් ආයෙත් කන ළඟ කීක් කීක් ගෑවා. කවුරුහරි කන ළඟ කතා කරනවා වගේ. කනේ කළාඳුරුවත්ද? කාලෙකින් කන සුද්ද කරලා නෑ. පහුගිය කාලෙ බලන් හිටියෙ කන් බීරි වෙනකන්. ඇස් අන්ධ වෙනකන්. ඒගමන ඇහුණෙ පොත් පෙරළන සද්දයක්. කවුරු නමුත් මෙතන ඉන්නවා. මං නැඟිටලා ලයිට් එක දැම්මා. අපොයි! ජාතක පොත් වහන්සේ උඩ මීයෙක්! මොකක්ද කරන්නෙ? මං පාපිස්ස ළඟ සෙරෙප්පුව බැලුවා. සෙරෙප්පු නැතුවයි දැන් ඇවිදින්නෙ කියල මතක් වුණේ එතකොට. අන්තිමේ අතට අහු වුණේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ‘බාලෝපදේශය’ පොත. බාලයන්ට දැන් උපදේශ වැඩක් නෑ. උන් අපට උපදෙස් දෙයි. මීයාට පොතෙන් පාරක් දෙන්න අත උස්සද්දි එකපාරටම කටහඬක් ඇහුණා:

“නිකන් පව් පුරෝගන්න එපා මහත්තයා!”

මාව අන්දුන්කුන්දුන් වුණා. කවුද ඒ කථා කළේ?

“කථා කළේ කවුද කියලද කල්පනා කරන්නෙ?”

ඒගමන ඔච්චම් හඬක්. මේ මහ රෑ මාත් එක්ක විහිළු කරන්නෙ මොකාද?

“ඔය පොත උඩ බලන්න. ඒ ඉන්නෙ මං තමයි.”

මං ජාතක පොත දිහා බැලුවා. එතන හිටියේ අර මීයා.

“පහුගිය කාලෙම මං හිටියෙ මෙතන තමයි. ඒ වුණාට අද මට හිතුණා මහත්තයා එක්ක කථා කරන්න.”

සත්තයි! ඒ කථා කළේ මීයා. මීයාගේ කට ඒ විධියට හෙලවුණා. කථා කරන මීයො ඉන්න පුළුවන්ද? කුණුහරුප කියන සමෘද්ධි නෝනලා ඉන්න එකේ කථා කරන මීයො ඉන්න බැරිද? මං මීයා දිහා බැලුවා. ඌ තලස්තෑනි මීයෙක්. බඩ පොත්තටම ඇලිලා. හුඟ කාලෙකින් කෑමක් ලැබිලාත් නෑ වගේ. මූ නම් තව වැඩි දොහක් ඉන්න එකක් නෑ. මං උස්සපු පොත පල්ලෙහාට දැම්මා.

“හැබෑට ඇයි මිනිස්සුන්ට මෙහෙම සාගතයක් උදා වුණේ? කිසිම ගේක කන්න මුකුත් නෑ මහත්තයා!” මීයා රැවුල හොලවලා කථා කළා. මං මීයාට කථා කරන්න දුන්නා. මීයෙකුට උත්තර බඳින්න තරම් මං දීනයෙක්දෟ එහෙමම කියන්න බෑ. මීයො නෙවෙයි, ඌරො, බල්ලො, නරි ළඟ වුණත් දැන් අපට දීන වෙන්න වෙලා තියෙන්නෙ. දීන නොවී මොන කන්තෝරුවෙද අද වැඩක් කරගන්න පුළුවන්? ඉතිං මං මීයාට උත්තර බැන්දා:

“ඉස්සෙල්ලා කියන්න මේ මීතුමා කොහේ ඉඳලාද ආවේ කියල.”

මීයා ජාතක පොතෙන් මහාවංශයට පැන්නා. මට හිතුණා මූ මහා සිංහලේ වංශ කතාව දිගඅරීද කියල. ඒත් ඊළඟට හිතුණා ආයෙ දිගඅරින්න දෙයක් නෑ. දිගඅරින්න ඕන තරමටත් වඩා ඒක මීට දින පන්සීයකට උඩදී නැති වෙච්ච මහත්තයෙක් දිගඇරලා කියල. ඉතින් මීයා මට මෙහෙම උත්තර දුන්නා:

“අපි ඉතින් කොහේ ඉන්නද මහත්තයා, ගුල්වල ඇරුණාම? ඒත් මේ මුරුගසන් වැස්සත් එක්ක ඔක්කොම ගුල් වතුරට යට වෙලා. මේ මුළු මෝසමේම මං හිටියේ මහත්තයාගේ පොත් ගොඩ උඩ.”

මී බසට මාව සහළවලා ගියා. ඒ කියන්නෙ මගේ එකම වස්තුවට මූ වැඩේ දීලාද?

“මුලදි නම් මං පොත් හත අටක් කෑවා. ඒත් පස්සෙ මහත්තයා පොත් කියවන්න මහන්සි වෙන හැටි දැක්කාම කියවන දේට අලාභහානි නොකරන්න තීරණය කළා.”

“අපොයි! ලොකු දෙයක්,” මගෙන් කියවුණා.

“ඒ කිව්වෙ මං පොත්වල අකුරු ඉතිරි කරලා දාර – වාටි කෑවා.”

චිහ්! ඇයි මං මූව නොමරන්නෙ?

“මහත්තයාගෙන් මං ඇහුවේ ඇයි මෙහෙම සාගතයක් ආවේ කියල.”

මූ ආයි කටමැත දොඩවනවා.

“මේ මීයො, මට මුල ඉඳලා ඕවා විස්තර කරන්න බෑ. ඕන නම් හිටපු මහබැංකු අධිපතිතුමා හම්බෙන්න. එතකොට හරියටම වෙච්ච සිද්ධිය දැනගනියි. තවත් විස්තර ඕන නම් අර ජයසුන්දර හම්බෙන්න. දැන් මං හිතන්නෙ එතුමා ඊශ්‍රායලේද කොහෙද ගිහින්. අර පුතා අහසට යවපු රොකට් එක අල්ලගෙන එන්න ඊශ්‍රායලේට ගියාද දන්නෙ නෑ. ඊශ්‍රායලේට දැන් හුඟක් රොකට් වැටෙනවානෙ,” මීරාලට මං කෙටියෙන් කිව්වා.

“ඇත්ත වශයෙන් මහත්තයා දැන් අපට දත් හයිවෙන්න ඉරන්න පොතක්වත් නෑ. කිසි ගෙදරක පොතක් නෑ. පොත් වෙනුවට තියෙන්නෙ ෆෝන්. ඒත් ෆෝන් ඉරලා දත් කඩාගන්න අපට බෑ.”

මේකා මොනවා දොඩවනවාද මන්දා කියල මට හිතුණා. එතකොට මේකා මගේ කාමරේට ඇවිත් තියෙන්නෙ මගේ පොත් ටික ඉවර කරන්නදෟ

“ඉස්සර අපි ගෙවල්වලට ගියේ හරි බයෙන්. එක පැත්තකින් මිනිස්සු මී උගුල් අටවනවා. අනික් පැත්තෙන් පූසො නැති ගෙයක් නෑ. දැන් මී උගුලුත් නෑ. පූසොත් නෑ. පොතුත් නෑ. වළඳක, පිඟානක, එළවළු කූඩෙක කන්න මුකුත් ඇත්තෙත් නෑ.”

මීයා කථා කරනවා පාර්ලිමේන්තුවේ විපක්සෙ කථා කරනවා වගේ. මං බාධා කළේ නෑ. හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න වචන පාවිච්චි කළෙත් නෑ අර පිස්සු කුට්ටි වගේ. ඉතිං මීයා කථා කළා:

“මිනිස්සු දන්නෙ නෑ මිනිස්සුන්ට කන්න නැති වෙනකොට සත්තුන්ටත් කන්න නැති වෙනවා කියන එක. දැන් ඉස්සර හැම පෝයකටම හාමුදුරු දානෙ එක්ක බලුකපුටු දානයක් දුන්නා. අපේ කට්ටියට නම් කවුරුවත් දාන දුන්නෙ නෑ. ඒත් අපි දානෙ උයලා වීසි කරන හරි ඉතුරු කරන හරි කෑමෙන් බඩ පුරෝගත්තා. දැන් ඒවාත් නෑ. හැබෑට තව කොයි දවසක් වෙනකන් අපිට ජීවත් වෙන්න පුළුවන් වෙයිද මන්දා.”

මීයා කියපු කතාවට මට නම් සතුටු හිතුණා. මීයො ඉන්නෙ කුණු කාණුවල. කන්නෙ කුණු ජරාව. ඇරත් මීයො කාපු පොල් කෑවොත් සුදු වෙනවා. මී උණ ගත්තොත් හොඳ කරනවා බොරු. ඉතිං මිනිස්සුන්ටයි මීයන්ටයි එකට ඉන්න බෑ. මිනිස්සු එක්ක බල්ලො ඉන්නවා. නරි ඉන්නවා. හරක් ඉන්නවා. ඌරො ඉන්නවා. කලවැද්දො ඉන්නවා. උරුලෑවො ඉන්නවා. උන් ඉන්න ඕනත් නෑ. ඒත් කරන්න දෙයක් නෑ. දැන් උන් අයින් කරන්න බෑ. ඉස්සර හිතුවේ අලුත් පරම්පරාව උන් පලවා හරියි කියල. ඒත් ඒක එහෙම නෑ. උන්ටත් මුන් නැතුව බෑ. උනුත් එකයි මුනුත් එකයි එහෙම කියන උනුත් එකයි. ඒත් මීයො නම් ඕනම නෑ.

“මං දන්නවා මහත්තයා කල්පනා කරන දේ. ඒත් මතක තියාගන්න මහත්තෙලාටත් ඥානය පහළ වෙලා තියෙන්නෙ අපි පිට උඩ තියන් ඉන්න දෙවියො හින්දා කියල.”

මේකා මීයෙක්ද මී වෙසින් ඉන්න දෙයියෙක්ද කියල මට හිතුණා. ඒත් මං උත්තර බඳින්න ගියේ නෑ. මීයා පිට උඩ දෙයියෙක් හිටියාට මීයා දෙයියෙක් වෙනවාද කියල මං හිතුවා. ඇරත් මේකා කිසි ප්‍රතිපත්තියක් නැති මීයෙක්. එක පැත්තකින් ඥානයට අධිපති දෙයියො පිටේ තියන් ඉන්නවා. අනෙක් පැත්තෙන් ඥානය දෙන පොත් කනවා. ඉතිං මොන කතාදෟ

මීයා තවත් කතා දෙඩෙව්වා. මට යන්තමට ඇහුණු එකක් තමයි මිනිස්සු සාගතේට ලක් කරපු එවුන්ට අලාභ හානියක් කරන්න පුළුවන් නම් ඒකට මැලි වෙන්නෙ නෑ කියන එක.

“එකම දේ උන් පොත් කියවන්නෙ නෑ. නැත්නම් අපි උන්ගේ පොත් කනවා,” මීයා අන්තිමටම කියනවා ඇහුණා. ඒ කතාව ඇහුණු ගමන් මට මීයා ගැන ලොකු භක්තියක් ඇති වුණා. ඒ භක්තියත් එක්ක මං මීයාට මීවිතක් තොල ගාන්න ආරාධනා කළා. ඒත් ආරාධනය පිට වෙද්දි මීයා අතුරුදන් වෙලා. ඌ කොහේද ගියේ? මීමුරේ ගිහින්ද? මීගොඩ ගිහින්ද? මීගමුවෙ? මීගහතැන්නෙ? මීපාවල? නැත්නම් මීයා ආයු සංස්කාරය අත්හැරලා ගිහින්ද? ඒක බැරි නෑ. ඌ මහලු මීයෙක්. ඒත් කොච්චර මහලු වුණත් තවම “මට තව පාරක් පුළුවන්” කියන මීයොත් ලෝකෙ ඉන්නවා.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment