රට ගොඩගන්න විශ්වාසයේ බලයත් අප සතුයි – මාලිමාවේ මැයි රැලියේදී ජනපති කියයි

104

ජන සයුර ගාලු මුවදොරට

වසර 76ක් විනාශ කළ රටින් මාස 6න් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ

අද විපක්‍ෂයක් නෑ ඉන්නේ වැල් බයිලාකාරයෝ

යුක්තිය හා සාධාරණය වෙනුවෙන් අපි පොර බදනවා

දූෂිත දේශපාලනය තුළින් රට ගොඩගන්න බෑ

අපේ පරම්පරාවට වඩා අනාගත පරම්පරාවට හොඳ රටක් සකසනවා

දශක ගණනාවක් පුරා කළ අරගලවල ප්‍රතිඵල අද භුක්ති විඳිනවා – අගමැතිනි හරිනි අමරසූරිය

මින් ඉදිරියට සෑම මැයි රැලියක්ම සමරන්නේ අපේ රජයක් යටතේ – ඇමැති ලාල් කාන්ත

විපක්‍ෂයේ සියලු රැලි අද දියාරු වෙලා – ටිල්වින් සිල්වා

වැටී ඇති රට ගොඩගැනීම සඳහා ව්‍යවස්ථාවෙන්, පාර්ලිමේන්තුවෙන් හිමිව ඇති බලය ඉක්මවා යන ‘විශ්වාසයේ’ බලයක් ජාතික ජන බලවේග ආණ්ඩුව සතුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (01 වෙනිදා) සඳහන් කළේය.

වසර 65ක් අතිශය අමාරු තත්ත්වයන් යටතේ බලය ලබා ගැනීමේ එක අරමුණක් සිය බලවේගය අතික්‍රමණය කළා නම් රට ගොඩ ගැනීම යන ඒකායන අරමුණ ජයග්‍රහණය කිරීම කිසිසේත් අපහසු නොවන බවත්, කී හෙතෙම විශේෂයෙන් දැන් ඇසෙන්නේ භීතියේ සහ තැති ගැනීමේ අඳෝනාව බවත් කීවේය.

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (01 වැනිදා) එම අදහස් පළකළේ ජාතික ජන බලවේගය සංවිධානය කළ මැයි දින රැලිය ගාලු මුවදොර පිටියේ පැවැති අවස්ථාවේදීය.

‘රට හදන ජන බලය’ පෙළගැසෙන මැයි රැලිය ලෙස එය නම්කර තිබිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීවේය.

අද දේශපාලන ව්‍යාපාරයක් ලෙස මේ රට තුළ පවතින්නේ ජාතික ජන බලවේගය පමණයි. මේ රටේ ජනතාවගේ සහ රටේ අනාගතය බවට පත්වන්නේ අප ව්‍යාපාරයයි.

අනිත් කිසිවක් තවදුරටත් දේශපාලන ව්‍යාපාර නෙමෙයි. ඒවා සුන්බුන් ගොඩවල් විතරයි. නමුත් තැනින් තැන ඒ අයගේ හඬවල් ඇසෙනවා. ඒ හඬවල් තුළ ඇත්තේ පරාජයේ හඬයි. ඒ අඳෝනාවේ හඬයි.

ඔවුන් කරපු අපරාධ, වංචා කොපමණද කියලා අපට වඩා ඔවුන් දන්නවා. ඒ වගේම ඔවුන් දන්නවා අපි කවුද කියලා. ඔවුන් කරපු අපරාධවල තරමටම ඔවුන් අපි ගැන දන්නවා. ඒ නිසා ඒ හඬ තුළ ඇත්තේ භීතියේ අඳෝනාවයි.

අපේක්‍ෂා භංගත්වයේ වේදනාව, වරප්‍රසාද අහිමි වීමේ අඳෝනාව සහ භීතිය තැතිගැන්ම අනෙක් පස තිබෙන්නේ. තවදුරටත් මේ රටේ දේශපාලන ව්‍යාපාර නෑ. ඒවා වැල් බයිලා ව්‍යාපාර පමණයි. ඔවුන් කරන්නේ මොනවද කියලා දන්නේ නෑ. තවදුරටත් අපට අපෙන් එළියේ අභියෝගයක් නෑ. එහෙනම් අපට අභියෝග ඇත්තේ කොහේද? අපට අභියෝගය ඇත්තේ අප තුළමයි. අප සමීපයේමයි. ඒ නිසා අභියෝග පියමං කිරීම සඳහා අප තුළම ඇති ප්‍රතිවිරෝධතා, නොගැළපීම් අලුත් තත්ත්වයට අනුරූපී වීමට නොහැකිවීම්, අලුත් තත්ත්වය තේරුම් නොගැනීම්, අලුත් තත්ත්වයට හැඩ ගැසෙන්නේ කෙසේද යන්න තේරුම්ගත යුතුයි. තවදුරටත් එළියේ ප්‍රශ්න අපට නෑ.

අපට වැඩ කරන්න පෙළඹෙව්වේ පුරුද්දේ බලයයි. ඇතිවෙන්න වැඩ කරලා අපට පුරුද්දේ බලය තිබුණා. හැබැයි දැන් අපි බලය අපේ අතට ගත්ත ව්‍යාපාරයක්. ඒ නිසා දැන් තවදුරටත් තිබෙන්නේ පුරුද්දේ බලය නෙමෙයි. දැන් අප සතුව ඇත්තේ විශ්වාසයේ බලයයි.

ව්‍යවස්ථානුකූලව හිමිවන බලය ඉක්මවා යන පාර්ලිමේන්තුවේ බලයත් ඉක්මවා යන විශ්වාසයේ බලයක් අප සතුව තිබෙනවා. වසර 65ක් එක අරමුණක් වෙනුවෙන් අතිශය අමාරු තත්ත්වයක් යටතේ බලය ලබා ගැනීම අප අතික්‍රමණය කළා නම් මේ රට ගොඩ ගැනීමත් මේ රටේ ජනතාවගේ වුවමනාවන් ඉටු කිරීමත් සහතික වශයෙන් සාර්ථක කරනවා කියන විශ්වාසයේ බලයත් සමගයි අප මෙයට අවතීර්ණ වී තිබෙන්නේ. අතිශය ප්‍රබල විශ්වාසයක් අපට තිබෙනවා.

රට ගොඩගන්න විශ්වාසයේ බලයත් අප සතුයි - මාලිමාවේ මැයි රැලියේදී ජනපති කියයි

භීතියේ අදෝනාව අද තියෙනවා. අපේක්ෂා භංගත්වයේ වේදනාව, භීතියේ තැති ගැනීම. දැන් තියෙන්නේ වැල් බයිලා කණ්ඩායම්. දේශපාලන ව්‍යාපාර නැහැ. දෙසැම්බර් වැටෙනවා කියා ජනවාරි වැටෙනවා කියනවා. ඒවා වැල් බයිලා. තවදුරටත් එළියෙන් අභියෝගයක් අපිට නෑ. අපෙන් එළියේ තියෙන්නේ සුන්බුන් ගොඩක් පමණයි. අභියෝග තියෙන්නේ අපි අතරමයි. අපි කවුද අපි දීර්ඝ කාලයක්, වසර 65 ක් අරමුණකට කැපවීමේ උරුමය අපට තියෙනවා. පරම්පරා ගණනාවක් අතිශය පරාජයන් අභියෝගයන්, අත් හැරයාම් ආදිය අපට තිබුණා. අපි අත් හැරියේ නෑ. අරමුණක් වෙනුවෙන් උරුමය කර තියන් යන කණ්ඩායමක්. අභියෝගයන් හමුවේ වැඩ කරන්න අපි පුරුදු වුණා. දැන් තවදුරටත් පුරුද්දේ බලය නොවෙයි විශ්වාසයේ බලය තියෙනවා. රට ගොඩනැගිය හැකි බවට ජනතාව අපිව විශ්වාස කරනවා. අපට තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් ලැබී තියෙන බලය ඉක්මවා යන විශ්වාසයේ බලයයි. එය ඉටු කිරීමේ විශ්වාසයෙන් යුතුව කටයුතු කරනවා.

යථාර්ථයේ ස්වභාවය තේරුම් ගත යුතුයි. පතුලටම කඩා වැටුණු ආර්ථිකයක්. නීතිය බිඳ වැටෙමින් තිබූ සමාජයක් අපිට ලැබුණේ. කටුක යථාර්ථය එයයි. සමාජ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් අපි පොර බදිනවා. ඒ වෙනුවෙන් ඉතා විධිමත් වියමනක් අපි වියනවා.

වසර 76 ක් විනාශයේ පතුලටම ගෙන ගිහින් මාස හයෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. අප යථාර්ථය හිතන්නේ නෑ. අපි සාර්ථකව වියමන වියනවා. ජනතාවට එය විශ්වාසයි. අපට තිබුණේ අත්තිවාරමක් නැති රටක්. ඉලක්කයක් නැතිව ගමන් කළ සමාජයක් රටක් තිබුණේ. ඒ නිසා ගෙවුණු මාස 06 දී අපි ශක්තිමත් අත්තිවාරමක් දමන්න කටයුතු කළා. එහි ප්‍රධාන කුලුන අදූෂිත දේශපාලනය. ඒ කුලුන නැතිව රටක් ගොඩගන්න බෑ. ජාතික සමගිය අපට අවශ්‍යයි. ජාතික සමගියක් නැතිව අපට ඉදිරියට යන්න බෑ. පසුගිය මහ මැතිවරණයේදී අපටත් වඩා ඉදිරියට ගිහින් ඒ පියවර තබා තිබෙනවා. උතුර නැගෙනහිර ජනතාව අපි කෙරෙහි විශ්වාසය තබලා අපටත් වැඩි ඉදිරි පියවරක් තිබ්බා. අපි උතුර නැගෙනහිර දේශපාලනය කළේ අඩුවෙන්. නමුත් උතුරේ පාරම්පරික දේශපාලනය ප්‍රතික්ෂේප කරලා අපි ගැන විශ්වාස කිරීමෙන් පෙනෙන්නේ ජාතික සමගියේ විශ්වාසයයි. අපි එය ආපසු හරවන්න දෙන්නේ නෑ. ඔවුන්ට නිදහසේ ජීවත් වීමට ඇති මූලික අයිතිවාසිකම් සියල්ල ඇති කරනවා.

ලංකාවේ පළමු වතාවට එකතු කරන දේශපාලනය ජයග්‍රහණයක් කර තිබෙනවා. එකම ව්‍යාපාරයක් වටා පෙළ ගැසීම අත්‍යවශ්‍ය අත්තිවාරමක්. එය අවශ්‍ය පියවරක්.

අපි කඩාවැටුණු රාජ්‍ය සේවය වෙනුවට ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇති කර තිබෙනවා. රාජ්‍ය සේවයේ තිබූ නොසැලකිලිමත්භාවය නැති කර ශක්තිමත් රාජ්‍ය සේවයක් පිහිටුවනවා. පැරණි රට කියලා හිතාගෙන විවිධ අය විවිධ කතාන්දර කියනවා. මේක අලුත් රට. නීතිය හැම කෙනාටම සමානයි. එය රට ගොඩනැගීමේ ප්‍රධාන අත්තිවාරමයි. අපරාධ කළේ කවදාද? කවදා වුවත් දඬුවම් දෙන එක නීතියට යටත් විය යුතුයි.

අපි ඉතා ශක්තිමත් ජාත්‍යන්තර ඉදිරියේ ඍජුව රට ප්‍රමුඛ කොටගෙන කටයුතු කරන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා. ඒ නිසා තමයි ජපානය, ඉන්දියාව ඇතුළු රටවල් නතර කරපු ව්‍යාපෘති නැවත ආරම්භ කර තියෙන්නේ.

දේශපාලන අධිකාරිය තුළ අපි අපේ සීමාව, අපි හඳුනාගෙන තියනවා. වංචාවෙන් දූෂණයෙන් තොර දේශපාලනයකට අපි කැපවෙනවා.

කර්මාන්තවලට ආයෝජනය කරන ලෙස අපි ආරාධනා කරනවා. වාණිජමය වශයෙන් වැදගත් හිස් බිම් සියල්ල අපි ප්‍රයෝජනයට ගන්නවා. ආයෝජනයේදී ව්‍යවසායකත්ව පහසුකම් දෙනවා. රටට අවශ්‍ය සාධාරණ බද්දක් දෙන්න.

අපි ගුණාත්මක බීජ දෙනවා. රට අස්වද්දන්න පියවර ගන්නවා. ඊට ගොවීන්ගේ සහාය ලබාදෙන්න. වෘත්තීය සමිති ව්‍යාපාර පරණ ආකල්ප ඉවත් කරන්න. සියල්ල අතහැරිය ව්‍යාපාරයක් අද තියෙනවා. අපට ව්‍යවස්ථාවත් නීතියෙන් හිමි දේත් අත්හැර තිබෙනවා. නමුත් වෘත්තීය සමිති කුඩා දෙයක් ඉල්ලනවා. එහෙම වෙන්න එපා. අපි වැටුප් වැඩි කළා. හැම පහසුකමක් ම ලබාදෙනවා. කුඩා වාක්‍යයක් වෙනුවෙන් සටන් කරන්න එපා. එකට රට

ගොඩනැගීමේ ව්‍යාපාරයට එකතු වෙන ලෙස වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් ඉල්ලා සිටිනවා. අපේ පරම්පරාවට වඩා අනාගත පරම්පරාවට හොඳ රටක් නිර්මාණය කර දෙමු. එළියේ ඉන්නේ වැල් බයිලා කාරයෝ. අභියෝග තියෙන්නේ අපි ළඟයි. කට්ටිය ගෝල්ෆේස් ගියාම ගම අල්ලනවා කියලා කිව්වා. වැල් බයිලා ඒවා. අපට එළියේ අභියෝග අවසන්. තව තවත් ශක්තිමත් වෙමින් අභියෝග ජය ගැනීමට සියලු දෙනා පෙළගැසිය යුතුයි. මහ ආණ්ඩුව වැඩ කරනවා. ප්‍රාදේශීය සභාව වැඩ කළ යුතුයි. රට අලුත් ජවයකින් ඉදිරියට යා යුතුයි. මේ අවස්ථාව නැති කිරීමට යුක්ති සහගත නෑ. ඉලක්ක සහගතව රට අලුත් දිශාවකට ගෙන යනවා. ඒ වෙනුවෙන් සියලු දෙනා පෙරට එමු.

රට ගොඩගන්න විශ්වාසයේ බලයත් අප සතුයි - මාලිමාවේ මැයි රැලියේදී ජනපති කියයි

අගමැතිනි හරිනි අමරසූරිය

මම හිතන්නේ ගාලුමුවදොර මෙතරම් ලස්සනට කවදාවත් තිබිලා නැතුව ඇති. 2024 අපේ මැයි දින රැලිය කොළඹ ටවුන්හෝල් එකේ කරද්දී අනුර සහෝදරයා කිව්වා “අපි ඊළඟ මැයි දින රැලිය පවත්වන්නේ අපේ ආණ්ඩුවක් යටතේ කියලා. අද අපි ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා. දැන් අපේ ජනාධිපති, අපේ ආණ්ඩුක් තිබෙන්නේ.

අද මැයි දින සැමරුමට අරගලය සමරන මැයි රැලියක්. අගෝස්තු මාසයේ ජනාධිපති වෙන්න හිතන් ඉන්න අය දෙසැම්බරයේ ජනාධිපති වෙන්න හිතන් ඉන්න අය

ගාලුමුවදොරට පැමිණ සිටින මේ ජනගඟ දැක්කාම මොනවා හිතනවද දන්නේ නැහැ. ඒ හීනවලට දැන් ‘චාන්ස්’ නැහැ.

අද මුළු ලෝකයේම අවධානය අපි දිනාගෙන තිබෙනවා. වාමාංශික ව්‍යාපාරයන් හරහා ලබාගත හැකි ජයග්‍රහණයන් පිළිබඳව උදාහරණයක් ඇත්නම් මේ මොහොතේ එය ඇත්තේ අපේ ලංකාව තුළයි. ඒ ගැන අප ආඩම්බර විය යුතුයි. ඔබ, අපි දශක ගණනාවක් තිස්සේ කළ අරගලවල ප්‍රතිඵල තමයි අද අපි මේ දකින්නේ. අපි ජනාධිපති සහෝදරයෙක් යටතේ මේ විදිහට ජාත්‍යන්තර කම්කරු දිනයක් සැමරීමේ ආඩම්බරයක් අප අත නොහැර අරගල කළ ජනතාවයි.

අපි ඔබට ආණ්ඩු ලබාගැනීමේ ජයග්‍රහණයට පෙර යෝජනා කළේ “ඉතිහාසය අලුතින් ලියමු ඉතිහාසය ලියපු අය බවට අප පත්වෙමු” කියලයි. ඇත්තට එය අද සිදුවෙලා. අප රටේ ඉතිහාසය වෙනස් කළ ඔබයි අද අපි අබිමුව සිටින්නේ. අපි ගැහැනු එක මිටට එකතු වෙමු කිව්වා. අපි එකතු වුණා. එකතුවීම තවමත් එක මිටට තිබෙනවා. ගැහැනු අපි එකට එකතුවීම තුළ අද පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය විසිදෙකක් වෙලා තිබෙනවා. ඉන් විසිදෙනෙක් අපේ නියෝජිතයන් වීම කෙතරම් ආඩම්බරයක්ද?

මේ දශක ගණනාවේ ඉතිහාසය තුළ අපිට බත් කටක් දුන්, වතුර වීදුරුවක් දුන් කීදෙනෙක් මෙතැන ඇද්ද? අපිව ගෙදරකට ගොඩවද්දාගන්න ප්‍රශ්නයක් වී තිබූ සමයක ඔබ අපිව ධෛර්යවත් කළා. දිරි ගැන්නුවා. ඔබ සැමගේ කැපවීම්, අධිෂ්ඨානය, ආදරය තුළයි මේ ජයග්‍රහණය ලබාඇත්තේ. මේ ජයග්‍රහණයට කැප වූ ඔබ කිසිවෙක් අප අමතක කරන්නේ නැහැ. ඔබ පැතූ ලංකාව අප ගොඩනඟනවා. ඒ ගැන කිසි සැකයක් තියාගන්න එපා. අපේ අනාගත පරපුරට අප ලබාදෙන්නේ දියුණු ලංකාවක්. ඒ ගැන කිසි සැකයක් තබාගන්න එපා. රට ජයග්‍රහණය කරගෙන ගිය ඔබ, රට වෙනස් කළ පරම්පරාවයි. ඔබ ඉතිහාසය අලුතින් ලියන පරම්පරාවයි.

රට ගොඩගන්න විශ්වාසයේ බලයත් අප සතුයි - මාලිමාවේ මැයි රැලියේදී ජනපති කියයි

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

අපි පටන් ගත් දේශපාලන ගමන කිසිවකුට නවත්වන්න බැහැ. අපේ ගමන නවත්වන්න බාධා කරන්න බෑ. අපේ ගමන ඉදිරියට යනවා. අද ගෝල්ෆේස් පිටිය අතුරු සිදුරු නැතිව පිරිලා. එය තමයි ජනතාවගේ විශ්වාසය.

අද විපක්ෂයේ සියලු පක්ෂ රැලි නෑ. දියාරු වෙලා. පළාත් පාලන ඡන්දයෙන් මාලිමාව ඓතිහාසික ජයග්‍රහණයක් ලබනවා. එයින් විපක්ෂය නතර වෙන්නේ රතු දත්ත පොතෙයි.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතා

වැඩ කරන පංතියේ ආණ්ඩුවක් සමග අද කම්කරු දිනය සැමරීම විජයග්‍රහණයක්. මෙතැනින් එහාට සෑම කම්කරු දින සැමරුමක් ම පවත්වන්නේ අපේ රජයක් යටතේ. ඒ සඳහා කම්කරු ජනතාව පෙළ ගැසිලා ඉන්නේ.

වෙනදා මැයි දින සැමරුමක් එද්දී කම්කරුවන් ඉල්ලීම් දිනා ගන්න ලොකු සටනක් ගෙනයනවා. නමුත් මෙවර අපේ වැඩ කරන පන්තියේ ආණ්ඩුවක් තුළ ඒවායේ ප්‍රශ්නයක් ආවේ නැහැ. අපි තවම ඉදිරිපත් කර ඇත්තේ එක ආයතනයක් පමණයි. ඒ තුළ සියලු ඉල්ලීම් නොලැබුණු බව ඇත්ත. නමුත් අපේ රජය යටතේ කම්කරුවන්ගේ සියලු ප්‍රශ්නවලට අපි අනිවාර්යයෙන්ම උත්තර සපයනවා.

මෙහිදී ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී සරෝජා පෝල්රාජ්, ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති මිනර් මුලෆර්, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ කේරළ ප්‍රාන්ත සභාවේ ලේකම් බිනෝයි විස්වම් මහතා ඇතුළු කථිකයෝ කිහිප දෙනකු අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට ගරුතර පූජ්‍ය පක්ෂය ඇතුළු ආගමික නායකයන්, ජාතික ජන බලවගේයේ නායකයන් දෙස් විදෙස් නියෝජිතයන් ඇතුළු බොහෝ පිරිසක් එක්වූහ.

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

සිරිමන්ත රත්නසේකර සහ රනිල් ධර්මසේන


advertistmentadvertistment