පාපන්දු සංවර්ධන වැඩ මාර්තු සිට පණ ගන්වයි

46

ජාත්‍යන්තර තහනම හේතුවෙන් මෙතෙක් ප්‍රමාදයට පත් වූ ශ්‍රී ලංකා පාපන්දු සංවර්ධන වැඩසටහන් ලබන මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනය විධිවිධාන යොදා ඇත.

ඒ අනුව සුපර් ලීග් සහ චැම්පියන් ලීග් තරගාවලි මැයි මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කොට ඇත. ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනයේ 2024-2027 මාර්ගගත වැඩපිළිවෙළ අනුව පළමු පරිපාලන වසර 4 අවසන් වන විට, ආසියානු පාපන්දු සම්මේලන ශූරතා තරගාවලියේ අවසන් වටය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබන තත්ත්වයට ගෙන එන බව ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා පැවසීය.

ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයට අනුව මෙතෙක් කිසිම අවස්ථාවක ශ්‍රී ලංකාව ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා නැත.

කටුනායකදී පසුගියදා පැවැති අති විශේෂ මහ සභා රැස්වීම පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී තවදුරටත් කරුණු දැක්වූ ඒ මහතා පැවසුවේ කෙදිනක හෝ තමා පාපන්දු පුටුවෙන් ඉවත්ව යෑමට පෙර ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 150 වැනි ස්ථානය දක්වා ගෙන ඒමට කටයුතු කරන බවයි.

එහි පළමු පියවර ලෙස 2024 අවසන් වන විට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 199 වැනි ස්ථානයට ගෙන ඒම සඳහා දැනටමත් පසුබිම සකස් කරමින් යන බවත් ඔහු පැවසීය. පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව මේ වන විට 204 වන ස්ථානයේ පසු වෙයි.

මෙම පාපන්දු වැඩසටහන් සඳහා රුපියල් බිලියනයකට අධික ආදායමක් මේ වසරට අදාළ අයවැය ලේඛනය මගින් සම්මත කර ගැනීමද පසුගියදා සිදු කෙරිණි.

මේ අතර තෝරා ගත් ස්ථානවල ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණ රැසක් ඉදිකිරීම සඳහා ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා සමග සාකච්ඡා කොට ඇති බවත් එහි පළමු පියවර ලෙස කඳාන ප්‍රදේශයේ නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා දැනටමත් මූලික කටයුතු ආරම්භ කොට ඇති බවත් ජස්වර් උමාර් මහතා පැවසීය.

2023 ජනවාරි මස 27 වැනිදා ජාත්‍යන්තර තහනමකට ලක් වූ ශ්‍රී ලංකා පාපන්දුව මාස 7 කට පසුව එනම් පසුගිය අගෝස්තු 28 වැනිදා එම තහනමෙන් නිදහස් වුණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment