ධීවරයන්ට ඊයේ භූමිතෙල් බවුසර් 74ක්

82

ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතාවය වෙනුවෙන් ඊයේ (23 දා) දිනයේ භූමිතෙල් බවුසර් 74ක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවත් එම ඉන්ධන පෞද්ගලික අංශයේ පිරවුම්හල් 49 ක්, සමුපකාර පිරවුම්හල 18 ක් සහ වෙනත් පිරවුම්හල් 07කින් බෙදාහැරීම සිදු කරන බවත් ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ඒ අනුව වත්තල හැඳල, බේරුවල (ධීවර වරාය), හැඳල විජේසිංහ, ගාල්ල, අහුන්ගල්ල, තංගල්ල, නොරොච්චෝල, පුත්තලම, හලාවත වැල්ල, හලාවත අලුත්වත්ත, වැල්වැටිතුරේ, පුදුකුඩුඉරිප්පු, කයිට්ස්, ගුරුනගර්, තලයාඩි, මයිලෙඩ්ඩි, කලවංචිකුඩි ඇතුළු ස්ථාන රැසකට භුමිතෙල් බවුසර් තොග 28ක් නිකුත් කර ඇත.

මීට අමතරව ධීවර දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ධීවර වරාය 14ක ද භූමිතෙල් හා ඩීසල් ඉන්ධන ධීවරයින් වෙත නිකුත් කිරීම අඛණ්ඩව සිදු කෙරෙන බව ද ඒ මහතා සඳහන් කරයි.

එසේම ධීවරයින්ගේ අවශ්‍යතා සඳහා ඉන්ධන සැපයීමේ වගකීම නොවැම්බර් 22 වැනිදා සිට දකුණ, බස්නාහිර, වයඹ, උතුර සහ නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවත් ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ, ගම්පහ, පුත්තලම, යාපනය, මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිසාපතිවරුන් මගින් ද, ධීවර දෙපාර්තමේන්තුව මගින් ද ධීවරයින්ගේ ඉන්ධන අවශ්‍යතා විමසා බලන බවත් පවසයි.

ධීවර කටයුතු සඳහා ඉන්ධන ලබා ගැනීමේ දුෂ්කරතාවක් පවතී නම් ධීවර සමිති හා ව්‍යාපාරිකයින්ට අදාළ දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා හෝ පළාත් ප්‍රධාන ලේකම්, සමුපකාර ලේකම් වෙත ඉල්ලීම් යොමු කරන ලෙස ජනාධිපති ප්‍රජා කටයුතු අංශය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment