කටාර් සහ මෙරට මත් ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට

4377

කටාර් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාව තුළ මත් කුඩු ජාවාරමකට සම්බන්ධ මහ මොළකරුවකු වන ‘අළුබෝමුල්ලේ පිංකි’ නැමත්තා ඇතුළු ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම, රමුක්කන, අළුබෝමුල්ල සහ මහ බෙල්ලන යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සිව්දෙනකි.

ප්‍රධාන සැකකරු කිසිදු රැකියාවක් නොමැතිව සුඛෝපභෝගී නිවසක් සහ සුඛෝපභෝගී මෝටර් රථ තුනක් භාවිත කරමින් සුපිරි ජීවිතයක් ගතකර ඇති අතර තෙමහල් ගොඩනැඟිලි ඇතුළු දේපළ රැසක හිමිකරුවකු බව අනාවරණය වීම මත අළුබෝමුල්ල ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතාට සැක සිතී විමර්ශන ආරම්භ කර තිබිණි.

සැකකරුගෙන් පැය දෙකක පමණ කාලයක් ප්‍රශ්න කරමින් සිටින අතර තුර ජංගම දුරකථනයට විශාල කෙටි පණිවුඩ ප්‍රමාණයක් සහ ඇමතුම් ලැබී ඇති අතර එම ඇමතුම් විසන්ධි කීරීම හේතුවෙන් මතු වූ සැකය මත, ඔහුගේ ජංගම දුරකථනය පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතා පරීක්ෂා කර ඇත.

සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී කටාර් රාජ්‍යයේ සහ මෙරට මත් කුඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ පුද්ගලයින් කෙටි පණිවුඩ, මුදල් ගනුදෙනු රිසිට් පත්, දුරකථන සංවාද සහ ගූගල් සිතියම් ඔස්සේ කටාර් රාජ්‍යයේ වීදි තුළ පිහිටි ආරක්ෂිත ස්ථානවල මත්ද්‍රව්‍ය සඟවා අලෙවි කිරීම මෙරට සිට සිදුකර ඇති බව ඇතුළු තොරතුරු රැසක් අණාවරණය වී ඇත.

එම තොරතුරු ඔස්සේ සැකකරුගෙන් අණාවරණය වූ තොරතුරු මත ජාවාරමට සම්බන්ධ අනෙක් සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී වසරක පමණ කාලයකදී රුපියල් කෝටි 15 කට අධික මුදල් ගනුදෙනු කර ඇති බවටද අණාවරණය වී ඇත.

කළුතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මාරපන සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතාගේ මග පෙන්වීමෙන්, උප පොලිස් පරීක්ෂකවරුන් වන චානක, ජයවර්ධන, සැරයන් කුමාර (60604), කොස්තාපල්වරුන් වන (72156) නිශ්ශංක, (36106) හර්ස්, (94943) අසිත, (29393) ඒකනායක, (97897) ගිහාන් සහ (100047) කුමාර යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment