රට ගොඩනගන පළමු පියවර

758

ශ්‍රී ලාංකේය දසවැනි පාර්ලිමේන්තුවේ ප්‍රථම සැසිවාරය අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) මුළුදුන්නේ ය. ඊට ප්‍රථමයෙන් නව පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා පත්කිරීම, නව නියෝජ්‍ය කථානායකවරයා පත්කිරීම සහ නව නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කිරීම ද චාම් උත්සවයක් ලෙසින් හා සිරිත් පරිදි සිදුකරන්නට යෙදිණි. මෙහිදී පත්වීම් ලද නව කථානායක ආචාර්ය අශෝක රන්වල මහතා කෘතහස්ත වෘත්තීය සමිති නායකයෙක් වීමද විශේෂයකි. එමෙන්ම, ඉහත සියලු තනතුරු මෙවර මන්ත්‍රී ආසන 159 ක් ලබා බහුතර බලය ලබාගත් ජාතික ජන බලවේගයටම හිමි විය. මෙම මන්ත්‍රී ආසන 159 න් 40 කට ආසන්න මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ ආසනවලින් ලබාදෙන්නට සිදු වූයේ සභා ගර්භයේ ආණ්ඩු පක්ෂය සඳහා (හෝ විපක්ෂය සඳහා) එක පැත්තකට එතරම් ආසන සංඛ්‍යාවක් පනවා නැති බැවිනි. ඒ අනුව එය ජාතික ජන බල ආණ්ඩුව තැබූ තවත් වාර්තාවක් වනවාට සැක නැත.

මෙහිදී අප දුටු වැදගත්ම සංසිද්ධිය වූයේ 76 වසරක් තිස්සේ මෙතෙක් බලයට පත් සියලුම ආණ්ඩු විසින් කරන්නට යෙදුණු ආකාරයේ මහා ධනස්කන්ධයක් වියදම් කරමින් සිදුකළ සාම්ප්‍රදායක හා සංස්කෘතිකාංග මෙන්ම වෙනත් “විලම්භීත” මෙම උත්සව අවස්ථාවේදී භාවිත නොකිරීමය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා චාම් එහෙත් අභිමානවත් අවස්ථාවක් වූ මෙහිදී අඩුම තරමින් ජයමංගල ගාථාවක්වත් කීවේ නැත. පෙර මෙන් ජනාධිපතිවරයා පිරිවරා ගත් සුදු අසරුවන් අප දුටුවේ නැත. එමෙන්ම පරිවාර රථ, හමුදා ආචාර පෙළපාලි දුටුවේ නැත. ට්‍රම්පට් හෝ බියුගල් නළා හඬ ඇසුණේ නැත. ආචාර වෙඩි මුර ඇසුණේ නැත. කොටින්ම ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවට සපැමිණියේදැයි දැකගත්තේත් රූපවාහිනී ‘ලයිව්’ එකට පින්සිදුවන්නට ය. එතරම් චාමෙට වැඩේ ගියේ ය. රාජාසන කතාව අසන්නට පැමිණ සිටි විදේශීය තානාපතිවරුන්, තානාපතිවරියන් රටේ මේ වෙනස ඉතා ඉහළින් අත්දකින්නට ඇත. සැබැවින්ම රටේ ජනතාව මෙවැනි සරලම තත්ත්වයක් අපේක්ෂා නොකළ නමුදු, ජාතික ජන බලවේගය තම පක්ෂ සහ බලවේගයක් ලෙස ප්‍රතිපත්ති අනුව යමින් රටට පෙන්වූ ආදර්ශය අතිශය පැසසුම් දායකය.

කෙසේ හෝ මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පවත්වන්නට යෙදුණු රාජාසන කතාව සහ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කාගේත් අවධානය යොමුවුණු කතාවක් බවට විවාදයක් නැත. මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කරන ලද්දේ නීතිය සැමටම වඩා උසස් යන්න හා ජනාධිපතිවරයා ඇතුළු සියල්ලන්ම ඊට පහළින් සිටින්නවුන් බවයි. මෙනිසා නීතියේ ආධිපත්‍යය තහවුරු කරන බවත්, රටවැසියා නීතිගරුක, විනය ගරුක පුරවැසියකු බවට පත්කිරීම සහ රට ආර්ථික වශයෙන් නඟාසිටුවීමට අවශ්‍ය රජයේ කාර්යභාරය ගැන ද එතුමන් ඉතා ධනාත්මක කතාවක් සිදුකිරීම ජනතා අවධානය දිනාගන්නකි.

එසේම, රට ආර්ථික වශයෙන් නඟාසිටුවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග, විශේෂයෙන්ම නිෂ්පාදන සහ සේවා ආර්ථිකයේ නඟාසිටුවීම සහ බස්නාහිර පළාතෙන් පිටතට ප්‍රසාරණය කිරීම, මෙතෙක් එක්තරා ධනපති පන්තියක් වටා ඒකරාශිව තිබූ සම්පත් සහ ප්‍රතිලාභ ජනතාව අතර බෙදීයෑමට සැලැස්වීමට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ඉතා හොඳ ආර්ථික වැඩපිළිවෙළක් යෝජනා කිරීම පැසසුමට ලක්විය යුතු කාරණයකි.

විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට පත්ව ආ නවක මන්ත්‍රීවරුන් ඇසුරෙන් රටට ඉල්ලන ක්‍රම වෙනස සහ ආර්ථික සමෘද්ධිය ගැන ජනාධිපතිවරයා කළ පැහැදිලි කිරීම මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුව යමින් හා ප්‍රතිසංවිධානය කරනු ලබන විදේශ තානාපති සේවය ඔස්සේ රට දියුණු කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග විදෙස් තානාපතිවරුන්ගේ වැඩි අවධානයකට යොමු වූ බවට සැකයක් නැත. ජාතිවාදය, ආගම්වාදය පසෙකලා ජනතාව එකාවන්ව ලබාදුන් මේ ජනවරම සලකා මින් පසු කිසිම ජාතිවාදයකට සහ ආගමික අන්තවාදයකට රට තුළ නැගී සිටින්නට ඉඩ නොතබන බව අවධාරණය කිරීම ද රටට බලාපොරොත්තු ඇති කිරීමකි.

ජනාධිපතිවරයාගේ මේ වෑයමට ඉතාම ගැලපෙන මහජන නියෝජිත කණ්ඩායම දැන් ඕනෑවටත් වඩා පාර්ලිමේන්තුවේ සිටින බවට විවාදයක් නැත. මන්ද, ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වුවමනා පරිදි මෙම අත්දැකීම් අඩු මන්ත්‍රී කණ්ඩායම හැඩගස්වා ගන්නට හැකි නිසා මෙන්ම, බහුතර බලය ආණ්ඩුව සතුවීම නිසා ය. මෙය රට ලැබූ වාසනාවක් ලෙස අප සලකන්නේ ආණ්ඩුව ගන්නා හොඳ තීන්දු, තීරණවලට අකුල් හෙළන්නට හෝ කකුලෙන් අදින්නට දැන් ඉතින් කෙනකු නැති නිසා ය. පැරණි “මිරිස් කුඩු” මන්ත්‍රී කණ්ඩායම් සිටියේ නම් ආණ්ඩුවක් කරන්නට තියා පාන් කඩයක්වත් කරන්නට දෙන්නේ නැත. කථානායක පුටුවටත් වතුර වක්කරපු අමන මැටි ඇමැතියන් සිටියේ නම් කොච්චර නිවැරදි වුණත් ආණ්ඩු කරන්නට දෙනවා බොරු ය. ඒ නයින් බලන කල ජනතාව ඉතා හොඳ තීන්දුවක් ජනාධිපතිවරයා වෙත ලබාදී ඇත. එහි වාසිය ජනතාවට නැවත ලබාදීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ වගකීම ය. මේ එකින් එක ඉටුවෙමින් පවතින්නේ ජනතාවගේ ඒ ප්‍රාර්ථනාවන්ය. ඊට විපක්ෂයේ සහාය ඉතා අත්‍යවශ්‍ය ය. විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂය ද ඒ අනුව යමින් වත්මන් ආණ්ඩුවට රට ගොඩනැගීම සඳහා ඉතා හොඳ සහායක් දීම මේ මොහොතේ අත්‍යවශ්‍ය ය.


advertistmentadvertistment