රාජ්‍යකාරක රවි මිතුරු කුජගේ නිවහනට

3203

විපක්ෂය නියෝජනය කරන පක්ෂ අතර අභ්‍යන්තර ගැටලු

සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා, රාජ්‍යකාරකයා ලෙසින් හැඳින්වෙන රවි ග්‍රහයා තමාගේ මිත්‍ර රාශියක් වූ කුජට අයත් වෘශ්චික රාශියට 2024 නොවම්බර් 16 ප.ව. 07.33 ට ගෝචර වේ. මසක් පමණ කාලයක් රැඳී සිටින රවි ග්‍රහයා කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ 10 වැන්නට යෑම රජය ශක්තිමත් භාවය පෙන්නුම් කරයි.

මෙහිදී තත්කාල ලග්නය වශයෙන් වෘශ්චික ලග්නයත්, මකර නවාංශකයත් උදාව පවතී. එහිදී ලග්නගතව රවි, බුධ ද දෙවැන්නේ සිකුරුද, සිව්වැන්නේ 22 වන දෙර්කානාධිපතිට අයත් ශනිද, 5 වැන්නේ රාහුද, 7 වැන්නේ වක්‍ර ගුරු සමග බාධක සඳු ද , 9 වැන්නේ ලග්නාධිපති වූ නීච කුජ ද, 11 වැන්නේ කේතුද විය.

යම් යම් කුමන්ත්‍රණ එළිවන කාලයකි. තත්කාල කේන්ද්‍රයේ ශනි 22 වැනි දෙර්කානාධිපතිට අයත්වීම මත සෞඛ්‍ය, කෘෂිකර්මය, පීඩිත ජනතාව යහපත් නොමැති බවක්ද පෙන්නුම් කරයි.

මෙහිදී පවතින නැකත වනුයේ රවිට අයත් කැති නැකතයි. කැති නැකත වනාහි රක්ත වර්ණ, පුල්ලිංග, අධෝමුඛ තාරකා 6කින් යුත් නැකතකි. මෙම නැකත ලබා පැය 32 කින් පසු අසුභදායක වේ. විපක්ෂ කණ්ඩායම්වලට හෙවත් විපක්ෂයේ නියෝජනය කරන පක්ෂ අතර අභ්‍යන්තර ගැටලු වර්ධනය වීමක්ද පෙන්නුම් කරයි.

ඒ අනුව රාජ්‍යකාරක රවිගේ ගෝචරය ලග්න 12ට බලපාන ආකාරය බලමු.

මේෂ ලග්නය

මේෂ ලග්න ඔබගේ 5 අධිපති වූ රවි 8 වැන්න තුල ගෝචර වේ. අධ්‍යාපනයේ නියැලී සිටි දරුවන්ට යම් යම් බාධා ඇති කරයි. උනන්දුව අඩු බව ඇති කරයි. ධනස්ථාන ගතව ගජකේශරී යෝගයක්ද පැවතීම තුළ ලැබීම් අතින් යහපත් වේ.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න ඔබගේ කේන්ද්‍රයේ 7 වැන්න තුළ රවි ගෝචර වේ. හවුල් ව්‍යාපාර කරන අයෙක් නම් එහි සාර්ථකත්වයක් ඇති කරයි. මෙතෙක් කලක් ශනි 10 වැන්න තුළ වක්‍රව ගමන් කරනු ලැබූ හෙයින් රැකියාවේ ගැටලු පැන නැගුනු බව කිව යුතුය. නමුත් වක්‍ර බාවයෙන් මිදීමත් සමගම පැවති ගැටලු නිරාකරණය වීමක්ද පෙනේ.

මිථුන ලග්නය

මිථුන ලග්න ඔබගේ කේන්ද්‍රයේ රවි 6 වැන්න තුළ ගෝචර වේ. බාල සහෝදරයන් අතර යම් යම් ගැටලු ඇති කරයි. එසේම උරහිසක සම්බන්ධ අසනීප තත්වයක්ද පෙන්නුම් කරයි.

කටක ලග්නය

කටක ලග්න ඔබගේ 2 වැන්නාධිපති රවි විද්‍යාස්ථාන ගතව හෙවත් 5 වැන්න තුළදී ගෝචර වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට උනන්දුව ඇති කරයි.

සිංහ ලග්නය

සිංහ ලග්න ඔබගේ ලග්නාධිපති වූ රවි 4 වැනි භාවය තුළ ගෝචර වේ. ඔබට පපුව ආශ්‍රිත ගැටලු ඇති කරන බව පෙනේ.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න ඔබගේ 12 වැන්නාධිපති රවි 3 වැනි භාවය තුළ ගෝචර වේ. යම් යම් තැන් වලදී ඔබට ප්‍රධානත්වය හිමි වන මාසයකි. එසේම ඔබ තොරතුරු තාක්ෂණය ආදී අංශයක නිරත වී සිටි අයෙක් නම් එහි සාර්ථක භාවය ඇති කරයි.

තුලා ලග්නය

තුලා ලග්න ඔබගේ භාග්‍යස්ථානයට අධිපති සහ අයස්ථානාධිපති එකට එකතුව ධනස්ථානගතව ගමන් ගෙන තිබුණි. ලැබීම් සහ පෙර කුසල් මතු වන මාසයකි.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න ඔබගේ 10 වැන්නාධිපති ලග්න ගතව ගෝචර වේ. ඔබට තනතුරු ලාභ, නිලතල, රැකියාවේ දියුණුව ඇති විය හැකි මාසයකි.

ධනු ලග්නය

ධනු ලග්ක ඔබගේ භාග්‍යස්ථානාධිපති රවි 12 වැනි භාවය තුළ ගෝචර වේ. ඔබ හවුල් ව්‍යාපාර කරන අයෙක් නම් එම හවුල් ව්‍යාපාරවල ගැටලු ඇති කරයි. විදෙස් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටීනම් එම අදහස සාර්ථක වීමක්ද පෙනේ.

මකර ලග්නය

මකර ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ රවි 11 වැන්නේ ගෝචර වේ. බාධක ස්ථානය තුළදී ගෝචර වීම තුළ ඔබට ලැබීම් වලට යම් යම් අවහිරතා ඇති වන බව පෙනේ.

කුම්භ ලග්නය

කුම්භ ලග්න ඔබගේ කේන්ද්‍රයේ රවි 10 වැන්න හෙවත් කර්මස්ථානයේ ගෝචර වේ. රැකියාව තුළ ඔබට විරුද්ධව යම් යම් කුමන්ත්‍රණ ඇති වන මාසයකි.

මීන ලග්නය

මීන ලග්න ඔබගේ කේන්ද්‍රයේ 6 වැන්නාධිපති භාග්‍යස්ථානයේ ගමන් කරනු ලබයි. විදේශ රටක සිටින අයෙකුගේ මූල්‍යමය ලැබීමක් ලැබීමට වාසනාවක් ඇත.

මෙය පොදු පලාපල විස්තරයක් බැවින් ඔබගේ දසාවල් සහ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව සහ පවතින දසාවල් අනුව වෙනස් විය හැක.

රාජ්‍යකාරක රවි මිතුරු කුජගේ නිවහනට

සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ
ලේකම් ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658


advertistmentadvertistment