රාජ්‍ය කළමනාකරණ සේවා සීමිත විභාගයෙන් ලකුණු 100-115 ගත් පිරිස් සම්මුඛ පරීක්ෂණ ඉල්ලති

67

රාජ්‍ය කළමනාකරණ සේවා සීමිත විභාගයෙන් ලකුණු 100 ත් 115ත් අතර ලකුණු ලබාගත් විභාග සමතුන්ට උසස්වීම් නොලැබී යන තත්ත්වයක් නිසා තමන් කනස්සල්ලට පත්ව ඇතැයි ඔවූහු ප්‍රකාශ කර සිටිති.

උසස්වීම් ලබාගැනීම සඳහා 12,000කට අධික පිරිසක් විභාගයට පෙනී සිටි බවත් ඒ අතරින් 100 ඉක්මවා ලකුණු ලබාගත් සංඛ්‍යාව 2500ක් පමණ බවත් ඔවූහු කියා සිටිති.

රාජ්‍ය කළමනාකරණ සේවා පුරප්පාඩු 5000කට අධික සංඛ්‍යාවක් පවතිද්දී ලකුණු 116ක් ඉක්මවා ලකුණු ලබාගත් 685 දෙනකු පමණක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති බවත්, සාමාන්‍යයෙන් පවතින පුරප්පාඩුවලින් සියයට 30 ක් පමණ, සීමිත විභාගය සමත් පිරිසක් බඳවා ගැනීම ක්‍රමවේදය බවත් ඔවූහු කියා සිටිති.

ඒ ආකාරයෙන් බැලීමේදී තවත් 1800ක් පමණ පිරිසක් බඳවා ගැනීමට හැකියාව පවතින බවත්, එම නිසා ලකුණු 100ත් 115ත් අතර පිරිස් වලින් ඉතිරි පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ කැඳවන ලෙසත් ඔවූහු ඉල්ලා සිටිති.

මෙසේ ලකුණු ලබාගත් පිරිස අතර උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන්, උසස් පෙළ සමත්, ඉහළ පරිගණක දැනුමක් සහිත පිරිස් සිටින බවත් පවසන ඔවුන් රාජ්‍ය සේවා නව බඳවා ගැනීම් සීමා කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පෙන්වා දී ඇති නිසා දැනට රාජ්‍ය සේවයේ සිටින තමන්ව එම කළමනාකරණ පුරප්පාඩු සඳහා බඳවා ගන්නා ලෙස ද ඉල්ලා සිටී.

චමින්ද සිල්වා


advertistmentadvertistment