රසායනික, කාබනික හා ආසනික්

1450

රසායනික ද්‍රව්‍ය යොදාගෙන සිදු කරනු ලබන භෝග වගාවන් නිසා මනුෂ්‍ය ශරීරයට සිදුවන හානිදායක තත්ත්වය අද ලොව බොහෝ රටවලට මහත් අභියෝගයක් වී ඇත. මෙම අභියෝගයට මුහුණදීමට ලෝවැසියා ගනු ලබන ක‍්‍රියාමාර්ගයක ප‍්‍රතිඵලයක් වශයෙන් වගාවන් සඳහා කාබනික ද්‍රව්‍යයන් යොදා ගැනීමට පෙළඹී සිටිති. එහෙත් මෙම අභියෝගය ජයග‍්‍රහණය කිරීම අප සිතන තරම් ලෙහෙසි පහසු කාර්යක් නොවන බව අප විසින් තේරුම්ගත යුතුව තිබේ. රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා විශේෂයෙන්ම වකුගඩු හා පිළිකා රෝග ඇතිවන බව බොහෝ අයගේ මතයකි. වෛද්‍ය විද්‍යාව අනුව පර්යේෂණාත්මකව සිදුකරන ලද පරීක්ෂණයන්ගෙන් හා නිරීක්ෂණයන් ගෙන් තීරණය වන දේ අප අවිවාදයෙන්ම පිළිගත යුතුවේ.

ශ‍්‍රී ලංකාව කෘෂිකර්මාන්තය මුල්කොටගත් දිවයිනකි. ගොඩ මඩ දෙකම සරුසාරව වගා කළ හැකි භූමියක් අපට උරුම වී ඇති නිසා ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට කෘෂිකර්මාන්තයෙන් ඉටු කරගත හැකි දායකත්වය අපමණය. මඩ ගොවිතැන හෙවත් වී ගොවිතැන යල මහ දෙකන්නයේම වගා කළ හැකි අතර ගොඩ ගොවිතැනේදී මේ භූමිය තුළ අබ ඇටේ සිට වගා කළ නොහැකි දෙයක් නැති තරම්ය. විශේෂයෙන්ම අප රටේ කෘෂිකර්මාන්තය මිනිසුන් උදෙසාම සිදු කරනවා මිස ලොව වෙනත් රටවල මෙන් සත්ත්ව ආහාර සඳහා භෝග වගාවන් සිදු කෙරෙන බවක් නොපෙනේ.

වර්තමාන රජය රසායනික ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව පසුගියදා මාධ්‍ය තුළින් දක්නට ලැබුණි. එසේම ජනාධිපතිතුමන් ද මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී ද මේ බව අවධාරණයකොට තිබුණි. එසේම කාබනික පොහොර නිෂ්පාදනය සහ භාවිතය සඳහා ගොවි ජනතාව පෙළඹවීමට ද රජය උත්සහයක් ගන්නා බව පෙනේ. මෙය ධනාත්මක සංකල්පයක් ලෙස අපි අගය කළ යුතුය. එහෙත් ප‍්‍රායෝගිකව මෙම ගැටලූව පිළිබඳව අවධානය යොමු කිරීමේදී යථාර්ථවාදීව මෙම ගැටලූවට විසඳුම් සෙවීමේදී එහි අසාර්ථක භාවයන් මේ වන විට ද අපට අවබෝධවී ඇතැයි සිතේ. භෝග වගාවන් සිදු කිරීමේදී රජයක් මෙන්ම ගොවියා ද ඉන් බලාපොරොත්තු වන්නේ අතමිට සරුවන අස්වැන්නක් නෙළා ගැනීමය. එහිදී ගොවියාට බලපාන අභියෝග රාශියක්වේ. පළමුව ඒ සඳහා රජයෙන් ණය ලබා ගැනීම, කලට වෙලාවට රසායනික බෙහෙත් පොහොර ආදිය ලබා ගැනීම, දිලීර රෝගවලින් සිය ගොවිතැන බේරා ගැනීම, දේශගුණික විපර්යාෂයන්වලට මුහුණ දීම, වන සතුන්ගෙන් සිය වගාවන් ආරක්ෂා කරගැනීම, සොර සතුරන්ගෙන් අස්වැන්න ආරක්ෂා කර ගැනීම වැනි අභියෝගයන් ඒ අතර වේ.

අද ලංකාවේ ප‍්‍රධාන ආර්ථික භෝග වගාවන් මෙන්ම කලෙක රටේ දළ ජාතික නිෂ්පාදනය හා රටේ ප‍්‍රධානතම ආදායම වූයේ ද තේ, පොල්, රබර් යන අපනයන වගාවන් බව අපි දනිමු. ගොඩ වගාවන් ලෙස සිදු කෙරෙන මෙම ප‍්‍රධාන ආර්ථික භෝගවලට ද සුළු අපනයන භෝගයන් වන කුරුඳු, කෝපි, ගම්මිරිස්, එනසාල්, සාදික්කා, කොකෝවා, කරාඹුනැටි, වැනිලා, කහ, ඉඟුරු වැනි භෝග වගාවනට ද අන්නාසි, කෙසෙල් වැනි පළතුරු වගාවනට ද රසායනික පොහොර භාවිතය දශක ගණනාවක් තිස්සේ රට තුළ භාවිතා කෙරුණි. දැනට වසර තිහ හතළිහකට පෙර වුවද රසායනික පොහොර භාවිතයකින් තොර ආහාරයක් ලෙසට රටවැසියා භාවිතා කළේ නම් ඒ අඹ, පේර, අලිගැට පේර, රඹුටන්, දෙළුම්, ගස්ලබු, කොස්, රටදෙල් වැනි ඵලයන්ය.

මඩ ගොවිතැන ලෙස වී වගාවනට ද යූරියා පොහොර, බණ්ඩි පොහොර ආදී රසායනික පොහොර ද කොළ කොඩවීමේ සහ වෙනත් කෘමී රෝග ආසාදනයන් වළක්වා ගැනීමට හා වල්නාශක සඳහා ද ‘‘ඇරසෝලා” වැනි රසායනික බෙහෙත් වර්ග ද බොහෝ කලක ගොවි ජනතාව භාවිත කළ බව අපි දනිමු. හීය හාන විට හෝ වපුරනවිට මඩ පොහොරද, වපුරා දින තුනෙන් යූරියා පොහොර ද දින පහළොවෙන් බණ්ඩි පොහොර ද යෙදිය යුතුය. එසේ නොවුනහොත් අස්වනු අඩුවේ. ශ‍්‍රී ලංකාව පුරාම ගොඩ මඩ දෙකම වගාවන් සිදු කෙරෙන අතර ඒ සියලූ වගාවන්වලට සරිලන ලෙස කාබනික පොහොර හෝ දියර බෙහෙත් නිෂ්පාදනය කිරීම දුෂ්කර බවත් කාබනික පොහොර හා එබඳු දියර බෙහෙත් වර්ග ආනයනය කිරීමට ද විශාල මුදලක් වැය කිරීමට ද සිදුවන බවත් පිළිගත යුතුය. අනෙක් අතට ගව හා කුකුළු පාලනයන් ද ප‍්‍රමාණවත් පරිදි සිදු නොකෙරන නිසා ගව හා කුකුල් පොහොර ද ප‍්‍රමාණවත් පරිදි යොදා ගැනීම දුෂ්කර වේ.

පැලෑටියක වර්ධනයට නයිට‍්‍රජන්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම්, සින්ක්, මන්ගනිස්, කොබෝල්ට් මෙන්ම කාබනික හෝ රසායනික පොහොර වගාවනට අවශ්‍යය. මෙහිදී බාල වර්ගයේ රසායනික මෙන්ම බාල ප‍්‍රමිතියකින් යුතු කාබනික පොහොර භාවිතයෙන් ද සිදුවන හානිය විශාලය. කාබනික පොහොර භාවිතය නිසා සෑම වගාවකම අස්වැන්න 20% දක්වා පහත වැටේ.

නිරෝගී සරු අස්වැන්නක් ලබා ගැනීමට මෙකී රසායනික පොහොර භාවිතය සිදු කෙරුණ අතර එම භෝගයන් ආහාරයට ගැනීමෙන් මිනිසුනට පිළිකා වැළඳී මියගිය බවක් දැනට දශක තුන හතරකට පෙර නම් අසන්නට නොලැබුණි. බතල, කිරිඅල, මඤ්ඤොක්කාවලට හා අබ, තල, මෙනේරි, කුරහන්, කව්පි, මුං වැනි ධාන්‍ය වර්ග වගාවේදී පොහොර භාවිතයක් නොමැතිව ද සරුවට වගාකොට අස්වැන්න නෙළා ගැණුනි. එබඳු දෑ ආහාරයට ගැනීමෙන් පිළිකා රෝගයන් වැළඳුන බවක් අසන්නට ද නොලැබුණි.

යුරෝපයේ හා උතුරු ඇමෙරිකාවේ තිරිඟු, බඩ ඉරිඟු, ඕට්ස්, ග‍්‍රීන් පීස්, සෝයා හා පරිප්පු යන ධාන්‍ය වර්ග වගා කෙරෙන අතර මින් පරිප්පු වගා කෙරෙනුයේ පෘතුගීසීයේ පමණි. මේ හැරුණු විට අර්තාපල්, බීට්, කැරට්, ලීක්ස්, බෝංචි, ගෝවා වර්ග හා සලාද වර්ග ද වගා කෙරේ. ඇපල්, පෙයාස්, මිදි, කිවි, චෙරි, පෙයාස්, ස්ට්‍රෝබරි, ප්ලවුමන්, නෙක්ටරින්, පීච්, ඇප‍්‍රිකට්, මිරබෙල්, ක්විටන්, බිලිබෙරි ඇතුළු බෙරි වර්ග යන පළතුරු වර්ග කිහිපයත් හැරුණු විට අනෙකුත් සියලූම ටින්කළ හා පැකට් කළ එළවලූ, පළතුරු හා ධාන්‍ය වර්ග සියල්ලක්ම ආසියාවෙන් හා දකුණු අමෙරිකාවෙන් ආනයනය කෙරේ. ඒ අතර තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව, ගෝතමාලා, පේරු, බ‍්‍රසීලය, කොස්තරිකා ආදී රටවල් ප‍්‍රධාන වේ.

ලොවපුරා ටොන් මිලියන ගණනින් වෙළෙඳපොළට එන මේ සියලූම ආහාර ද්‍රව්‍ය රසායනික පොහොර සහ ද්‍රව්‍යවල භාවිතයෙන් නිෂ්පාදනයකොට ඇති බව අප අවිවාදයෙන් පිළිගත යුතුවේ. රසායනික පොහොර සහ ද්‍රව්‍ය භාවිත නොකර ජනතාවට අවශ්‍ය කෙරෙන ආහාර ප‍්‍රමාණයන් නිෂ්පාදනය කිරීමේදී ඇතිවන ගැටලූ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුවේ. ප‍්‍රධාන වශයෙන්ම බලපානුයේ රටක ඉල්ලූමට සාපේක්ෂව අවශ්‍ය ප‍්‍රමාණවත් ආහාර ප‍්‍රමාණයක් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් මෙන්ම කාබනික ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වුවද නිෂ්පාදනය කිරීමට නොහැකි වීමය. එයට ප‍්‍රධාන හේතුවක් වනුයේද විවිධ රෝග සහ දිලීර රෝගවලින් වගාවන්වලට සිදුවන හානිය වැඩි වීමය. එම නිසා වෙළෙඳපොළට හෝ ජනතාවට අවශ්‍යතා ප‍්‍රමාණයට සරිලන ලෙස ආහාර නිෂ්පාදනය නොවීමෙන් ආහාර හිඟයකට මුහුණදීමට සිදුවීම ද වැළැක්විය නොහැකිය. මෙයට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ ලෝක ජනගහනය වැඩිවීමය.

අප ශ‍්‍රී ලංකාවේ මිලියන 22 ක් හෙවත් දෙකෝටි විසි දෙලක්ෂයකගේ ප‍්‍රධාන ආහාරය වන බත සැපයීම සිදු කරනුයේ රටේ මුළු ඉඩම් ප‍්‍රමාණයෙන් 42% ක ඉඩම් ප‍්‍රමාණයකිනි. එයිනුදු වගා නොකෙරෙන කුඹුරු ඉඩම් ප‍්‍රමාණය විශාලය. රටේ නව පරපුර වී වගාව සඳහා කුඹුරට බැස මඩ ගා ගැනීමට අකමැතිවීම, ගොවිතැන සඳහා වැයවන මුදලට සහ ශ‍්‍රමයට සරිලන අදායමක් උපයා ගැනීමට නොහැකිවීම, කලට වෙලාවට අවශ්‍ය කෙරෙන බෙහෙත්, පොහොර ආදිය නොලැබීම නිසා වගාවන් හානිවීම ද ආදී කරුණු නිසා ඉල්ලූමට සරිලන සැපයුමක් නොවීමෙන් ආර්ථික දුෂ්කරතා මෙන්ම ආහාර හි`ගයන්වලට ද මුහුණදීමට සිදුවේ.

මේ අතර පොහොර ආනයනය තහනම් කිරීමත් සමග ගොවි ජනතාවගේ වගාවන් විනාශයට යෑම සිදුවීම වැළැක්විය නොහැකිය. එයින් ඔවුනගේ ආර්ථික තත්ත්වය ද බිඳ වැටීම ද සිදුවීම අතිශය කනගාටුදායකය. එසේම පොහොර ආනයනය කිරීමට පසුගිය වසරේ ශ‍්‍රී ලංකා රජය ඇමෙරිකන් ඩොලර් මිලියන 259 ක් ද ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 ක් ද වැයකොට ඇති බව 2020 මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි. එසේම පසුගියදා රටේ පවතින සහල් හි`ගයට පිටරටින් සහල් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා විය. මෙම සහල් තොග රසායනික පොහොර යොදා නිෂ්පාදිත සහල් නොවේ යැයි කිසිවකුටත් ප‍්‍රකාශ කළ නොහැකිය.

ශ‍්‍රී ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 37.4% ක් ද, ජනගහනයෙන් මිලියන 1.7 ක් ද, කෘෂිකර්මාන්තයේ යෙදෙන අතර 29% ක් ශ‍්‍රම බළකායක් මෙහි යෙදේ. දල ජාතික ආදායමෙන් 10% ක් කෘෂිකර්මාන්තයෙන් රටට සපයා දෙයි. (2015 මහ බැංකු වාර්තාව) කෘෂි රසායනික භාවිතය හෙක්ටර්යාරයකට ඒකක 287 කි. භූමි අනුපාතයට අනුව ලොව වැඩිම කෘෂි රසායනික භාවිතය වන රට හැටියට ශ‍්‍රී ලංකාව හඳුනාගෙන ඇති බව 2015 ලෝක ආහාර සංවිධානය මගින් නිකුත්කර ඇති වාර්තාවක දැක්වේ. මේ අතර ශ‍්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ඇපල්, මිදී, දොඩම් වැනි පළතුරුවල අන්තර්ගත කෘෂි රසායනික ද්‍රව්‍ය 50% ක් බව ශ‍්‍රී ලංකා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් 2018 වර්ෂයේ නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දෙයි.

යල මහ කන්නවල හෙක්ටර්යාර් මිලියන 1.33 වී ගොවිතැන ද අනෙකුත් භෝග හෙක්ටර්යාර් 97120 ක් ද වගාකොට ඇති අතර රසායනික පොහොර මෙටි‍්‍රක් ටොන් 574705.9 ද ආනයනය කොට ඇති අතර ඒ සඳහා රුපියල් බිලියන 36 ක් වැය කොට ඇත. කෘමිනාශක ද්‍රව්‍ය ටොන් 1,26005 ක් ශ‍්‍රී ලංකා භූමියට ගෙන්වා ඇත. රසායනික පොහොර භාවිතය නිසා පස නිසරුවීම, ජලය බොහෝ වේලාවක් පසෙහි රඳා නොතිබීම, ක්ෂුද්‍ර ජීවීන් අඩුවීම නිසා පැලෑටිවල ක‍්‍රියාකාරීත්වය, වර්ධනය හා ඉන් ලැබෙන අස්වැන්න අඩුවීම, පසෙහි හියුමස් විනාශවීම වැනි සෘණාත්මක ප‍්‍රතිඵල ද ඇතිවේ.

වර්ග කිලෝමීටර් 3,57386 ක විශාල භූමි ප‍්‍රමාණයකින් යුතු ජර්මනිය ඉන් හෙක්ටයාර් මිලියන 11.4 ක් වනභූමි වන අතර ඉන් හෙක්ටර්යාර් 35413 ක හෙවත් 13.4% භූමි ප‍්‍රමාණයක එළවලූ හා පලතුරු වගා කෙරෙන අතර ඉන් හෙක්ටර්යාර් 1.698.764 ක භූමි ප‍්‍රමාණයක කාබනික පොහොර භාවිතයෙන් එළවලූ හා පළතුරු වගාවන් සිදු කෙරේ. මෙතුළින් රටේ ජාතික ආදායමට යූරෝ මිලියාර්ඞ් 14,99 ක ආදායමක් අලූතෙන් එක්විය. එය ප‍්‍රංශයේ 13% ක් වන අතර ලක්සම්බර්ග්හි 18% කි. 2019 වනවිට මුළු යුරෝපයේම කාබනික පොහොර යෙදූ ආහාර නිෂ්පාදනය 8% න් ඉහළ භාවිතයකට ජනතාව නැඹුරුවී ඇති අතර එම නිෂ්පාදනයන්ගෙන් යුරෝපය ලැබූ ආදායම යූරෝ මිලියාර්ඞ් 45 කි.

ලොව කිසිම රටක 100% ක් ම කාබනික පොහොර හා බෙහෙත් ද්‍රව්‍ය යොදාගෙන වගාවන් සිදු නොකෙරේ. යුරෝපයේ වැඩිපුරම කාබනික පොහොර යොදාගෙන එළවලූ හා පළතුරු වගා කරන රට වනුයේ බෙල්ජියමයි. එයින් වාර්ෂිකව ඇමෙරිකන් ඩොලර් මිලියන 18% ප‍්‍රමාණයකින් එහි ජාතික ආදායමේ වර්ධනයක් ඇතිවිය. එසේ වුව ද කාබනික පොහොර හා රසායනික පොහොර හා බෙහෙත් ද්‍රව්‍ය ද මිශ‍්‍රව යොදා ගනිමින් එළවලූ හා පළතුරු වගාකොට අවශ්‍ය ප‍්‍රමාණයට වෙළෙඳපොළට සපයන බව සැලකිය යුතුය.

මෙම රසායනික ද්‍රව්‍ය යොදාගත් ආහාරවලින් පමණක්ම මිනිසුනට පිළිකා නොවැළඳේ. මේ සඳහා බලපාන වවිධ කරුණු රාශියක්ම වේ. ඒ අතර ප‍්‍රධානතම හේතුවක් වනුයේ ගැඹුරු පොළවේ පවතින ආසනික් නමැති රසායනික ද්‍රව්‍ය වේ. ලොව වැඩිම ආසනික් ඇති පෘතුවි භාගය වනුයේ බංගලාදේශයයි. එහි වැඩිපුරම ජනතාව පානීය ජලය ලබා ගනුයේ නළ ළිං වලිනි. මෙහි විශේෂත්වය වනුයේ ජලය වීදුරුවකට දැමූ විට මෙම ආසනික් ද්‍රව්‍ය නොපෙනීම හා එහි රසයෙන් හෝ වර්ණයෙන් වෙනසක් නොපෙන්වීමය. ආසනික් ජලය භාවිතය නිසා වකුගඩු ආශ‍්‍රිතව පිළිකාවන් නිසා වසරකට 1,25000 ක් පමණ ප‍්‍රමාණයක් මිනිස්සු මියයති. ලක්දිව උතුරු නැෙ`ගනහිර, දකුණු හා වයඹ පළාත ඇතුළු අනෙකුත් පළාත්වල භාවිත කෙරන නළ ළිං ජලය නිසා විශාල ප‍්‍රමාණයක් පිළිකා රෝගයනට ගොදුරුවන බව සැලකිය යුතුය.

රසායනික, කාබනික හා ආසනික්

ආචාර්ය රඹුක්වැල්ලේ දේවානන්ද හිමි
(බි. ඒ. ගෞ., එම්.ඒ., පී. එච්. ඞී. – ජර්මන්)
බර්ලින් සම්බෝධි විහාරාධිපති,
දොරණාගොඩ සදානන්ද පිරිවෙන් රජමහා විහාරාධිපති, ජර්මනියේ සමථ බලසම්පන්න ප‍්‍රධාන සංඝ නායක.

advertistmentadvertistment
advertistmentadvertistment