රුසියාවේ කුලී හමුදා සේවයට යැවූ තෙල්දෙණියේ ජාවාරම්කරු අල්ලන්න

55

ඥාතීන්ගෙන් පැමිණිලි

රුසියාවේ කුලී හමුදා සේවයට යවන ජාවාරමට සම්බන්ධ පුද්ගලයකු මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ සිටින බවත් මේ වනවිට විශාල පිරිසකගෙන් මුදල් ලක්ෂ ගණන් ගෙන විදේශගත කොට ඇති ඔවුන් විවිධ පිඩාවන්ට මුහුණදී මේ වනවිට ජිවිත අවදානමේ සිටින බැවින් ඔවුන් බේරාදෙන ලෙස පවසමින් ඔවුන්ගේ පවුල්වල පිරිසක් තෙල්දෙණිය පොලිසිය වෙත පැමිණිලි කිරීම පසුගියදා සිදුවිය.

රුසියාවේ සිවිල් සේවය සඳහා යවන බව පවසා මහනුවර, තෙල්දෙණියේ බල ප්‍රදේශයේ පදිංචි යුද හා නාවික හමුදාවේ විශ්‍රාමික සෙබළුන් 17 දෙනෙකු සිටින බවත් මිනිස් ජවාරමේ යෙදෙන ධනුෂ්ක නැමති පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දාහරකට (ලක්ෂ 14 ක) ආසන්න මුදලක් එක් අයෙකුගෙන් ලබාගෙන ඇති බවත් මොවුහු පවසති. රුසියාවේ කූලී හමුදාවේ සේවයට යැවූ නාවික හමුදාවේ සහ යුද හමුදාවේ සෙබළුන් 17 දෙනකු රුසියාවේ දස දුක් විඳින බවත් එම සෙබළුන් රුසියාවට යැවූ තෙල්දෙණියේ මිනිස් ජාවාරම්කරු සම්බන්ධව නිසි පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලමින්, රුසියාවේ කුලී හමුදා සේවයේ නිරතවන සෙබළුන්ගේ බිරින්දෑවරු හා පවුලේ ඥාතීන්, දූ දරුවන් තෙල්දෙණිය පොලිසිය වෙත පැමිණිළි කළහ. මේ සම්බන්ධව අදහස් දැක්වූ ගුරුමහත්මියක් වන තෙල්දෙණියේ පදිංචි ධම්මිකා තෙන්නකෝන් මහත්මිය:

මගේ මහත්තයා වසර 22 ක් නාවික හමුදාවේ වැඩ කරල විශ්‍රාම ගිය කෙනෙක්. එයාව රුසියාවට යැව්වේ බොරු කියලා. ජනාධිපතිතුමාගෙන් ඉලා සිටිනවා වහාම මේ ගැටලුවට මැදිහත් වෙලා රුසියාවේ යුද බිමේ කුලී හමුදා සේවයේ යෙදී මරණය පෙනී පෙනී ඉන්න අපේ මහත්තය ඇතුළු ලංකාවේ හමුදාවේ අය මෙරටට ගෙන්වා දෙන්න කියලා. මහත්තයා රුසියාවට යැව්වේ ධනුෂ්ක කියලා කෙනෙක්. දැනට තෙල්දෙණිය ප්‍රදේශයෙන් හමුදාවේ සාමාජිකයන් 17 ක් රුසියාවට යවල තියෙනවා.

මෙම සිද්දියට මුහුණපා ඇති තෙල්දෙණියේ පුටහපුවේ පදිංචි ඒ. ඩී. පුෂ්පා කුමාරි මහත්මිය : මගේ මහත්තයා අවුරුදු 22 ක් නාවික හමුදා සේවයේ ඉඳලා විශ්‍රාම ලබලා හිටියෙ. එයාව රුසියාවට යැව්වේ හොඳ තැනක රුසියන් හමුදාවේ සේවයට යවන බව කියලයි. එහෙම කියල රවට්ටල අපේ මහත්තය ඇතුළු කණ්ඩායම යවල තියෙන්නේ රුසියන් හමුදාවේ සටන් පවතින දෙවන පෙළ බංකර්වලටයි. මේ මිනිස් ජාවාරම දැන්වත් නවත්වන්න ආණ්ඩුව වහා මැදිහත් විය යුතුයි.

මෙම සිද්ධිය පිළිබඳව තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරී උමේෂ් නන්දික මහතා සඳහන් කළේ කරන ලද පැමිණිළි සියල්ල සටහන් කරගෙන ඉදිරි පරීක්ෂණ කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා බවය.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment