රෝයල් පාක් ඝාතකයාට මෛත්‍රී දුන් ජනපති සමාව අහෝසි කරයි – උසාවිය නියෝග කරයි

479

නිසි ක්‍රමවේද අනුගමනය කර නෑ:

තරුණියගේ මවට-සොයුරියට හා පෙත්සම්කරුවන්ට ලක්‍ෂ 10 බැගින් ගෙවන්නත් මෛත්‍රිට නියෝග

රජයට නඩු ගාස්තුත් ඔහුගෙන් ගත හැකියි

මාස 4ක් ඇතුළත වන්දි ගෙවිය යුතුයි

සමාව ලැබූ ජූඩ් ජයමහ වහාම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්නත් නියෝග

රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේ දී 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කර අභියාචනාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ දොන් සාමන්ත ජූඩ් ඇන්තනි ජයමහ නමැති තරුණයා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති පොදු සමාවක් යටතේ මුදාහැරීම බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06දා) නියෝගයක් නිකුත් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එකී පොදු සමාව ලබාදී ඇත්තේ නිසි ක්‍රියාදාමය අනුගමනය නොකර වන බැවින් ඔහු සමගින් පෙත්සම්කාර පාර්ශ්වය හා අගතියටපත් පාර්ශ්වයේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල මරණකාරියගේ මවට, සහෝදරියට හා පෙත්සම්කාර පාර්ශ්වයට රුපියල් ලක්‍ෂ දහය බැගින් වන්දි ගෙවන ලෙසට ද මෛත්‍රිපාල සිරිසේන මහතාට නියෝග කෙරිණි. එයට අමතරව රජයට ඇස්තමේන්තු ගත නඩු ගාස්තු හිටපු ජනාධිපතිවරයාගෙන් අයකර ගැනීමේ හැකියාව ඇති බවද සිය තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේය.

එකී වන්දි මුදල් මාසයක කාලයක් ඇතුළත ගෙවිය යුතු බවට ද නියෝග කළ එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ හා ජගත් ද සිල්වා යන විනිසුරු මඬුල්ල පොදු සමාව ලැබූ විත්තිකාර ජූඩ් ජයමහ නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන යළි බන්ධනාගාර අධිකාරියට භාර දීමට අවශ්‍ය පියවර ගන්නැයි නීතිපතිවරයාට නියෝග කළේය.

රටේ විධායක ජනාධිපතිවරයා වෙත යමෙකුට පොදු සමාව ලබාදීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය මගින් හිමිකර දී ඇතත් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාදාමය කුමක් දැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ම පෙන්වා දී ඇතැයි සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන් විනිසුරු මඬුල්ල වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා එකී ක්‍රියාදාමය අනුගමනය නොකිරීමෙන් ඔහු වෙත ජනතාව ලබාදුන් ජනතා පරමාධිපත්‍යය හා නීතියේ ආධිපත්‍යය ද බිඳ දමා ඇතැයි ද පෙන්වා දුන්නේය.

එබැවින් තම අධිකරණය විසින් නියම කළ වන්දි මුදල් ගෙවීම, විත්තිකරු බන්ධනාගාර භාරයට ආපසු භාර දීම ඇතුළු ක්‍රියාදාමය ගැන ගෙන ඇති පියවර සෑම මාස දෙකකට වරක් මෝසම් පත්‍රයක් මගින් තම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට ද නීතිපතිවරයාට නියෝග කෙරිණි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2019.11.13 වැනිදා ජූඩ් ජයමහ නමැත්තාට ලබාදුන් පොදු සමාව අභියෝගයට ලක් කරමින් කාන්තා හා මාධ්‍ය එකමුතුව විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ඊයේ (06දා) පෙරවරුවේ ප්‍රකාශයට පත් කළ අතර විනිසුරු මඬුල්ල විසින් සම්පූර්ණ පිටු 306 කින් යුත් තීන්දු පත්‍රයේ සුවිශේෂී කොටස් හා සාරාංශ ගත කොටස් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කළේය.

යම් ජනාධිපතිවරයකු යමෙකුට පොදු සමාවක් ලබාදීම කිසිදු අයුරකින් සුළුකොට නොතැකිය යුතු බවත් එය කළ යුත්තේ නිසි වගකීමකින් යුතුව බවත් පෙන්වා දුන් විනිසුරු මඬුල්ල මෙම ක්‍රියාවලියේ දී හිටපු ජනාධිපතිවරයා ඔහු වෙත පැවරී තිබූ එකී වගකීම ඉටු කර නොමැති බව තම අධිකරණය හමුවේ පෙත්සම්කාර පාර්ශ්වය හා වගඋත්තරකාර පාර්ශ්වය ඉදිරිපත් කළ ලේඛන හා කරුණු දැක්වීම් අනුව මනාව තහවුරු වී ඇති බවත් එබැවින් ඔහුගේ ක්‍රියාදාමය නීතියට එකඟ බවට නීතිපතිවරයා දැක්වූ කරුණු තම අධිකරණය ප්‍රතික්‍ෂේප කරන බවත් පැවැසීය.

2005.07.01 වැනිදා අලුයම රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේ පියගැට පෙළක වැටී තිබිය දී මරණකාරියගේ මළසිරුර හමුවී තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එවකට 19 හැවිරිදි වියේ පසුවූ මරණකාරියගේ පෙම්වතා යැයි කියන එම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබිණි. ඝාතනය සිදුවී දින 100ක් වැනි කෙටි කාලයක් ඇතුළත නීතිපතිවරයා එම විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පැවැරූ අතර එම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු අයි.එම්. අබේරත්න මහතා විත්තිකරු මිනීමැරීමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාවට වරදකරු කර බරපතළ වැඩ සහිත වසර 12ක සිරදඬුවම් හා රුපියල් ලක්‍ෂ තුනක වන්දියක් ගෙවීමට නියම කර තිබිණි. එකී තීන්දුවට එරෙහිව නීතිපතිවරයා මෙන්ම විත්තිකරු ද අභියාචනාධිකරණය හමුවේ අභියාචනා හා ප්‍රතිශෝධන අයැදුම්පත් ගොනු කර තිබිණි.

මහාධිකරණය විසින් 2006.06.28 වැනිදා නිකුත් කළ එම තීන්දුවට එරෙහිව ගොනුවී තිබූ පෙත්සම් සලකා බැලූ අභියාචනාධිකරණය දඬුවම් අවලංගු කරනා ලෙසට විත්තිකරු කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කොට නීතිපතිවරයාගේ ඉල්ලීම පිළිගනිමින් විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කොට තිබිණි.

අභියාචනාධිකරණ විනිසුරු රංජිත් සිල්වා හා නලින් පෙරේරා යන මහත්වරුන් 2012.07.11 වැනිදා නිකුත් කළ එම තීන්දුවට එරෙහිව විත්තිකරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අභියාචනාවක් ගොනු කර තිබූ නමුත් විත්තිකරු ඉල්ලා සිටි සහන ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2013 වසරේ දී ප්‍රතික්‍ෂේප කොට තිබිණි.

සිය ධුර කාලය අවසන් වීමට දින කිහිපයක් තිබිය දී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබාදුන් එම පොදු සමාවට එරෙහිව කාන්තා හා මාධ්‍ය එකමුතුව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ බුවනෙක අලුවිහාරේ, විජිත් කේ. මලල්ගොඩ හා ගාමිණි අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලික මට්ටමින් එම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට 2019.11.19 වැනිදා පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබාදී විත්තිකරු විදේශ ගතවීම වළක්වමින් 2019.11.29 වැනිදා තහනම් නියෝගයක් නිකුත් කොට තිබිණි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ රුක්ෂාන් සේනාධීර මහතා සමග ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටි අතර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පෙනී සිටියේය. මරණකාරියගේ මව හා සහෝදරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතාත් 7 වන වගඋත්තරකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාත් පෙනී සිටියහ. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් හෙරින් පුල්ලේ හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය පෙනී සිටියහ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස විත්තිකාර ජූඩ් ජයමහ නමැත්තාට නියම වී තිබූ මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් බවට පත් කරමින් 2016.05.20 වැනිදා ලබාදී තිබූ පළමු ජනාධිපති සමාව ද නීතියට අනුකූල සමාවක් නොවන බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා එම සමාව ද බලරහිත බවට තීන්දුවක් නිකුත් කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment