ලයිට් වැල ගොළු ගැහී බලාගෙන සිටිනවා සෙයිනි දුව නැති නිසා වෙසක් සඳ හඬනවා

167

වෙසක් සඳ නැඟෙන්නට හෝරා කිහිපයක් තිබිය දී තවත් සුන්දර මල් කැකුළක් මිලින වී ගියාය. වෙසක් උත්සවය ඉහළින් සමරන්නට සිය පියා විසින් ගෙනැවිත් සවිකර තිබූ විදුලි බල්බ වැලකින් විදුලි සර වැදීම නිසා ජීවිතයෙන් සමුගත් මේ පුංචි දියණියගේ වියෝව මුළු ගමක් හැඬවීමට හේතුවී තිබේ.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වටරැක කනිෂ්ඨ විදුහලේ පහශ්‍රේණියේ ඉගනුම ලැබූ ඩබ්. සෙයිනි රෂ්මිලා නමැති වයස අවුරුදු නවයක් වූ සිසුවියකි. පවුලේ එකම දරුවා වූ ඇය පදිංචිව සිටියේ මිල්ලෑව, ධම්මානන්ද පෙදෙස දරන ලිපිනයේ ය. මේ අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇත්තේ 11 දා පස්වරු එකට පමණය. විදුලි බුබුළු වැල නිවසේ හෝල්ඩරයකට සම්බන්ධ කර තිබී ඇති අතර මව සහ පියා ද සමග දියණිය ද නිවසේ සිට ඇත.

පියා මේසයක් රැගෙන ඒම සඳහා නිවසින් බැහැර වී ඇති අතර එක් වරම දියණියගේ කෑ ගැසීම ඇසී දිව ආ මවට විදුලි වැල අසල ඇද වැටී සිටින දරුවා දැක ගැනීමට හැකිවී ඇත. මවගේ කෑ ගැසීම නිසා දිව ආ අසල්වැසියෙක් ලී කැබැල්ලකින් වයරය ඉවත් කොට ඉක්මනින් දැරිය පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති අතර එතැනින් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මියගොස් තිබේ.

මියගිය සෙයිනි වටරැක කනිෂ්ඨ විදුහලේ දීප්තිමත් සිසුවියකි. අධ්‍යාපන වැඩවලට මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ද ඇය එකසේ දක්ෂතා දැක්වූ අයෙකි. පාසලේ සියලුම ගුරු සිසු හද දිනා ගෙන සිටි ඇය විදුහලේ ගුණදම් කුමරිය ලෙස ද කිරුළු පැලඳුවාය.

සිය දියණියගේ මේ නොසිතූ සමුගැනීම නිසා ඇගේ පියා සමන්ගේත් මව ප්‍රසන්තාගේත් ජීවිත කඩා වැටී තිබේ. ඔවුන් තවමත් සිටින්නේ හැඬූ කඳුළිනි.

ඇගේ විදුහලේ විදුහල්පතිතුමිය වන නිලන්ති ගමගේ මෙනවිය, පන්තිභාර ගුරුතුමිය වන ශිරෝමි කොස්වත්ත මහත්මිය මෙන්ම සිසු දරු දැරියන් මේ මරණය නිසා මහත් කම්පාවට පත්වී තිබේ. ඇගේ තුන, හතර ශ්‍රේණිවල පන්තිභාර ගුරුතුමිය වන බුද්ධිකා දිසානායඇය වෙනුවෙන් මෙසේ සටහනක් තබා තිබේ.

‘දෙවසරක් පුරාවට
මගේ ළඟ දැවටෙමින්
අකුරු කළ නුඹ
පහට ගියමුත් සැම දිනම පැමිණ
දෙපා වැඳ සෙනෙහසින්
මා වැළඳගත් නුඹ
අකාලයේ මිලින වූ වග ,
තවමත් අදහන්න නොහැකිව
නිදි නැතුව, මතක සයුරේ කිමිදෙන
නුඹේ තුන, හතර ගුරුතුමිය මම’

දැන් සියල්ල සිදුවී හමාරය. කුඩා දරුවන් දෙස, ඔවුන්ගේ ආරක්ෂාව ගැන දහස් වරක් විමසිලිමත් වියයුතුය. මන්ද ඔවුන් දරුවන් බැවිනි.

මොරගහහේන පොලිසිය මෙම මරණය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් මරණ පරීක්ෂණ ය පවත්වන ලදී. ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 14 වැනිදා බදාදා සවස 4.00ට ධම්මානන්ද මාවත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
කඩුවෙල සුගත් ප්‍රේමතිලක


advertistmentadvertistment