වත්මන් පොහොර අර්බුදය ඇතිකර ගොවියා පාරට බැස්සවීම්වලට ලේකම්වරුන් පමණක් නොව ඇමැතිවරයා ද වගකිවයුතු නිසා ඔහු ද මාරු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.
ඇමැතිවරයාගේ තියෙන හීනමානය, උද්දච්චකම නිසා බාහු බලයෙන් හා මුඛයෙන් ගොවි ගැටලූ හා කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයේ ගැටලූ විසඳන්න පුළුවන් කියා හිතන මානසිකත්වයෙන් ඔහු කටයුතු කළ බවත් එය ගැටලූවලට මුල්වූ බවත් එම එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය. ඇමැතිවරයා සියල්ල දත් අයකු ලෙස හැසිරුණේ යැයි ද හෙතෙම චෝදනා කළේය.
එම නිසා ජනාධිපතිවරයා කළ යුත්තේ ඇමැතිවරයාගේ කීමට පත්කළ ලේකම්වරුන් මාරු කිරීම නොව මෙතෙක් ආරවුල්, වියවුල් ඇතිකර ගොවිතැන වළපල්ලට යැවූ කෘෂිකර්ම ඇමැතිවරයා මාරු කිරීම බවද ඔහු කියා සිටියේය. ඇමැතිවරයා තවදුරටත් ධුරයේ තබාගෙන පත් කරන ලේකම්වරුන් මාරු කිරීමට යෑම හිසේ රුදාවට කොට්ට මාරු කරනවා වගේ වැඩක් යැයි ද ඔහු කීය.
රටේ පොහොර ගැටලූව ඇති කිරීමට ඇමැතිවරයා ලේකම්වරයා පමණක් නොව පොහොර සමාගම් දෙකේ ප‍්‍රධානීන් ඇතුළු තවත් පිරිසක් වගකිව යුතු යැයි ද හෙතෙම කීය.
චමින්ද සිල්වා