වතු සේවක වැටුප නැංවීමේ ගැසට්ටුවට එරෙහි වතු සමාගම් ඉල්ලීම උසාවිය ඉවත දමයි

118

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමිය යුතු බවට නීති පනවමින්, කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගිය 21 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි වතු සමාගම් කළ ඉල්ලීම අභියාචනාධිකරණය ඊයේ (03දා) ප්‍රතික්ෂේප කළේය.

වතු කම්කරු වෘත්තීය සමිති සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර රුද්‍රිගු මහතා හා කම්කරු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කළ කරුණු දැක්වීම් සලකා බැලූ, සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

එය රටේ ආර්ථික වර්ධනයට උරදෙන වතු කම්කරුවන් ඇතුළු කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කම්කරු අමාත්‍යවරයා ප්‍රමුඛ රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් බවත්, නිසි විභාගයකින් තොරව පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා සිටින එම ඉල්ලීම මුල් අවස්ථාවේදී ලබාදීම නුසුදුසු බව තම අධිකරණයට පෙනී යන බවත් පවසමින් විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. කෙසේ නමුත් දෙපාර්ශ්වයේ සියලු කරුණු වැඩිදුර සලකා බැලීමට තීරණය කළ විනිසුරු මඬුල්ල එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබූ කම්කරු අමාත්‍ය මනුෂ නානයක්කාර, ලංකා ුවතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් ජීවන් තොන්ඩමන් ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමටත් එම පෙත්සම ලබන 26 වැනිදා කැඳවීමටත් නියෝග කළේය.

සිය පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත් පෙත්සම් විභාගය අවසන් කොට තීන්දුවක් ලබාදෙනතුරු කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්, ආගරපතන වතු සමාගම ඇතුළු වතු සමාගම් 21ක් විසින් එම පෙත්සම ගොනුකර තිබිණි. වතු කම්කරු වැටුප් වැඩිකිරීමට අදාළ නිවේදනය පසුගිය මැයි 1 වැනිදා නුවරඑළිය ප්‍රදේශයේ පැවැති කම්කරු රැලියකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිවේදනය කොට තිබිණි.

රජයේ එකී තීරණය ක්‍රියාත්මක කළහොත් මේ වනවිටත් අලාභ තත්ත්වයෙන් පවත්වාගෙන යන සිය සමාගම් සම්පූර්ණයෙන් වසා දමන තත්ත්වයකට ඇදවැටිය හැකි බවත්, එබැවින් වතු සමාගම් සමග විධිමත් සාකච්ඡාවකින් තොරව රජය ගෙන ඇති එම තීරණය බලරහිත කරන ලෙසත් පෙත්සම්කාර වතු සමාගම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු නීතිඥවරුන් ඉල්ලා තිබිණි.

නීතිඥ සහන් විජේවර්ධන මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සමේ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ටිරාන් ඇන්කටෙල්, නීතිඥ සුගත් කල්දේරා යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටි අතර, නීතිඥ රුක්ෂාන් සේනාධීර මහතා ඇතුළු නීතිඥ ණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විකුම් ද ආබෲ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. වතු කම්කරුවන්ට එදිනෙදා ජීවත්විය හැකි අවම වැටුපක් ලබාදීමට රජය නිකුත් කළ මෙම ගැසට් නිවේදනය බලරහිත කිරීම, ඔවුනට සිදුකරන ඉතාමත් අසාධාරණයක් බව නීතිඥ විසිකා ෆොන්සේකා මහත්මියගේ උපදෙස් මත නීතිඥ විශ්වක පීරිස්, නීතිඥ ආසික් හසින් යන නීතිඥ මණ්ඩලය සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර රුද්‍රිගු මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

වතු හිමියන් විසින් ගොනුකර තිබූ පෙත්සමේ 24, 41 සහ 44 වගඋත්තරකරුවන් ලෙස නම්කොට තිබූ කේ. වාරිමුත්තු, වී රාජලක්ෂ්මි සහ ලංකා වතු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොන්ඩමන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර රුද්‍රිගු මහතා පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment