ඇත් රජුනි අපට සමාවන්න -මුතු රාජා පිටත්ව යද්දී දෑසින් කඳුළු එයි

734

තායිලන්තය විසින් මීට වසර 22 කට පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ අපේම රටේ නෙැසැලකිල්ලෙන් අපට අහිමි වූ මුතු රාජා හෙවත් ‘සක්සුරින් ’ ඊයේ (02දා) උදෑසන රුසියානු විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් ආපසු තායිලන්තය වෙත රැගෙන යනු ලැබිණි.

මෙම ඇතා ගුවනින් ගෙන යෑම සඳහා රුසියාවේ ඉලුෂියන්-76 වර්ගයේ ඇංජින් 04 කින් බලගැන්වෙන විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් 30 වැනිදා රාත්‍රී 11.30 ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. විශේෂයෙන් සකස් කරන ලද කූඩුවක බහා මෙම ඇතා ඊයේ අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන්තොටුපළ වෙත ඉතා ප්‍රවේශමෙන් රැගෙන ඒමට පියවර ගෙන තිබුණු අතර අලුයම 04.30 ට පමණ ඇතා ගුවන් යානය වෙත පැටවීම සිදු කෙරිණි.

රුසියානු එවියාකොන් සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ (Aviacon Zitotrans) ඒ. ඉසෙඩ්. එස්. – 5701 ( AZS – 5701) දරන ගුවන් යානය ඊයේ උදෑසන 07.30 කටුනායක ගුවන්තොටුපළෙන් තායිලන්තයේ බැංකොක් නුවර ෂියන්මායි ගුවන්තොටුපළ බලා පිටත්ව ගියේය. මෙම ගුවන් ගමනට පැය 05 ක් පමණ ගත වන බව පැවසේ.

මෙරට තුළ ආන්දෝලනාත්මක චරිතයක් වූ අලුත්ගම කන්ද විහාරයේ අසනීප තත්ත්වයෙන් සිටි මුතුරාජා හස්තියා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවනින් තායිලන්තයට ගෙන යෑම සඳහා ඉකුත් 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ විශේෂ කුටියක රඳවා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙන යනු ලැබිණ.

2001 වසරේ තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබීමෙන් පසු එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් හස්තියා රැක බලාගැනීම සඳහා අලුත්ගම කන්දේ විහාරාධිපතිව වැඩසිටි අපවත්වී වදාළ බටුවන්හේන බුද්ධරක්ඛිත හිමියන් වෙත පූජා කිරීමෙන් පසු මුතුරාජා ලෙස නම් තබා සඟරුවන ඇසුරේ කීකරුව හැදී වැඩී ඇති අතර රටේ විවිධ පෙරහැරවල ධාතු කරඬුව වැඩමවීමටද සම්බන්ධ කරගෙන ඇත.

මේ අතර මුතුරාජා අසනීප වී ඇති අතර වත්මන් විහාරාධිපති කොක්කාවිට විපුලසාර හිමියන් විසින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මුතුරාජා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාර කර තිබේ. සත්වයාගේ පාදයේ ආබාධයට වැඩිදුර ප්‍රතිකාර සඳහා තායිලන්ත රජයේ ඉල්ලීම මත අවුරුදු 29 ක් වූ අඩි 9 ක් උස කිලෝ 4000 බරකින් යුත් මෙම හස්තියා ඉකුත් 01 වැනිදා රුසියාවෙන් රැගෙන ආ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් තායිලන්තයට රැගෙන යෑම සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා විශේෂිත බහාලනයක් මගින් රැගෙන යනු ලැබීය.

මේ ගමනට මුතුරාජා සත්වෝද්‍යානයේ සිටි කාලයේ ඉතා කුළුපග වූ ප්‍රධාන හස්තිපාලක වන ඩී. ඩී. උපුල් ජයරත්න මහතා ඇතුළු තායිලන්ත ඇත්ගොව්වෝද වෛද්‍ය මණ්ඩලයද තායිලන්ත තානාපති කාර්යාල නිලධාරීන් සමග තායිලන්තය බලා පිටත් වූහ.

මෙම අවස්ථාවට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත, අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු, පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය මධූෂා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු තායිලන්ත තානාපති කාර්ය මණ්ඩලයේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

මුතුරාජා රැගත් රුසියානු යානය තායිලන්ත වේලාවෙන් සවස දෙකට පමණ එරටට ළඟා වී තිබේ.

ටී. කේ. ජී. කපිල – ගුවන්තොටුපළ, පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment