19 න් පහළ ප්‍රමුඛ පෙළ පාසල් රග්බි තරගාවලිය-ඉසිපතන රාජකීය ශාන්ත තෝමස් සහිරා ශාන්ත පීතර සහ ඩී. එස්. සේනානායක ජය ගනී

153

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක ඩයලොග් ලීග් ශූරතා අවුරුදු 19 න් පහළ ප්‍රමුඛ පෙළ පාසල් රග්බි තරගාවලියේ තෙවන සති අන්තයේ ජයග්‍රහණ වාර්තා කර ගැනීමට කොළඹ ඉසිපතන, කොළඹ රාජකීය, ගල්කිස්ස ශාන්ත තෝමස්, කොළඹ සහිරා, බම්බලපිටිය ශාන්ත පීතර සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල් නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

පසුගිය වර ලීග් ශූරතාව තහවුරු කර ගත් ඉසිපතන විදුහල මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත් වෙමින් සිකුරාදා (30) තම තෙවන තරගය ද ජය ගැනීමට සමත් විය. ඒ, ඉකුත් වර අනුශූරයන් වූ ශාන්ත ජෝශප් විදුහලට එරෙහිව ලකුණු 10 ක ජයග්‍රහණයක් ලබා ගනිමිනි.

ශාන්ත ජෝශප් ලබා ගත් ලකුණු 18 (ගෝල් 01, උත්සාහක දිනුම් 01 සහ දඬුවම් පහර 02) ට එරෙහිව ලකුණු 28 (ගෝල් 01, උත්සාහක දිනුම් 03 සහ දඬුවම් පහර 02) ක් වාර්තා කිරීමට එහිදී ඉසිපතන ක්‍රීඩකයන් හට හැකියාව ලැබිණි.

ජයග්‍රාහී පිල වෙනුවෙන් හෂේන් රන්දිමාල් 01, ෂහීඩ් සුම්රී 01, කලිඳු සෙනාල් 01 සහ නවීන් කනිෂ්ක 01 බැගින් උත්සාහක දිනුම් සටහන් කළ අතර එහි එක් ප්‍රවර්තනයක් සමගින් දඬුවම් පහර 02 ක් ප්‍රතිවාදී ගෝල් කණු අතරින් නිවැරදිව එල්ල කිරීමට රිනේෂ් සිල්වා සමත් විය.

පරාජිත පිල වෙනුවෙන් කැපී පෙනුණු නවීන් මාරසිංහ 01 සහ විෂික ප්‍රනාන්දු 01 උත්සාහක දිනුම් සම්පූර්ණ කළ අතර එහි එක් ප්‍රවර්තනයක් සහ දඬුවම් පහර 02 ක් නිවැරදි එල්ලයට යොමු කිරීමට රුචිර රුද්‍රිගු සමත් විය.

ඉකුත් සතියේ දී මෙන්ම මෙම සතියේ තරග ආශ්‍රිතව විශාලතම ජයග්‍රහණය සනාථ කර ගැනීමට රාජකීය විදුහලට හැකි විය. ඒ, මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 44 ක පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගනිමිනි.

ජයග්‍රාහී රාජකීය පිල ගෝල් දිනුම් 06 ක් සහ එක් උත්සාහක දිනුමක් ආශ්‍රිතව තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත්තේය. ධර්මරාජ පිලට සටහන් කර ගත හැකි වූයේ එක් ගෝල් දිනුමක් පමණි.

මේ අතරවාරයේ මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව ලකුණු 27 ක ජයග්‍රහණයක් ලබන්නට ශාන්ත පීතර විදුහල ද මහනුවර කිංග්ස්වුඩ් විදුහල ට එරෙහිව ලකුණු 11 ක ජයග්‍රහණයක මිහිර අත්විඳීමට ශාන්ත තෝමස් විදුහල ද ගල්කිස්ස විද්‍යා විදුහල ට එරෙහිව ලකුණු 16 ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට සහිරා විදුහල ද සමත් විය.

තරග ප්‍රතිඵල

★ ඉසිපතන විදුහල 28
ශාන්ත ජෝශප් විදුහල 18

★ රාජකීය විදුහල 47
විද්‍යාර්ථ විදුහල 03

★ ශාන්ත තෝමස් විදුහල 28
කිංග්ස්වුඩ් විදුහල 17

★ සහිරා විදුහල 24
විද්‍යා විදුහල 08

★ ශාන්ත පීතර විදුහල 34
ධර්මරාජ විදුහල 07

★ ඩී. එස්. සේනානායක විදුහල 29
වෙස්ලි විදුහල 20

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment