මැලේසියාවේදී කප් ගසා ශ්‍රී ලංකා නිරූපණ ශිල්පී කණ්ඩායම දිවයිනට එති

328

මැලේසියාවේ පැවති ලෝකයේ හොඳම නිරූපණ ශිල්පීන් තෝරන (I am model search international – 2024) තරගාවලියේදී ලෝකයේ හොඳම නිරූපණ ශිල්පියාට හිමි සම්මානය ඇතුළු තවත් ජයග්‍රහණ රාශියක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලංකා නිරූපණ ශිල්පීන් කණ්ඩායම සමත් වී තිබූ අතර ඔවුහු ඊයේ (15 දා) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.

ලෝකයේ හොඳම නිරූපණ ශිල්පීන් තෝරන මෙම තරගාවලිය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී ඉකුත් 10 වැනිදා සිට 14 වැනිදා දක්වා රටවල් 25 ක නිරූපණ ශිල්පීන් 72 දෙනකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදී වයස අවුරුදු 18-21 ත් අතර (MR: Teen) යෞවන අංශයෙන් ඉදිරිපත් වූ 19 හැවිරිදි රසල් කෙනත් පෙරේරා ලෝකයේ හොඳම යොවුන් නිරූපණ ශිල්පියා ලෙස ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් විය. ඔහු මීගමුව වැලිහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රසල්ට වසර 10 කට පසුව ශ්‍රී ලංකාවට හොඳම නිරූපණ ශිල්පියා සම්මානය දිනා ගැනීමට හැකි වීම විශේෂත්වයකි. මෙම තරගාවලියේදී කාන්තා අංශය නියෝජනය කරමින් සහභාගී වූ කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මෙලෝනි දසනායක තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.

කාන්තා යෞවන අංශයෙන් (Miss Teen) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 20 හැවිරිදි නිලක්ෂි බණ්ඩාර එහිදී සිව්වන ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර මීට අමතරව ‘හොඳම සමාජ ක්‍රියාකාරිනී’ සම්මානය ද දිනා ගත්තාය. මෙම තරගාවලියේ පිරිමි (MR) අංශය නියෝජනය කරමින් සහභාගී වූ 28 හැවිරිදි නවීන් ගුණසේකර හොඳම බලාපොරොත්තු තබා ගැනීමට හැකි නිරූපණ ශිල්පියා සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම තරගාවලියට ඉදිරිපත් වූ රටවල් 25 අතරින් ‘හොඳම ජාතික අධ්‍යක්ෂ’ ලෙස සම්මානයට පාත්‍රවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික සංවිධායක නිර්මාල් බණ්ඩාර මහතා සමත් වූ අතර මෙම සම්මානය ශ්‍රී ලංකා නිරූපණ ක්‍ෂේත්‍ර ඉතිහාසයේ පළමු වතාවට හිමි වීම විශේෂත්වයකි.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිරූපණ ශිල්පීන් සිව්දෙනකු ඉදිරිපත්ව සිටි අතර ඔවුන් සියලු දෙනාම සම්මාන දිනා ගැනීමට සමත් වී තිබුණි.

මෙම සම්මානලාභීන් ඊයේ උදෑසන 9.40 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ. – 045 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීමට 2023 වසරේ (Miss sri Lanka) ශ්‍රී ලංකා රූ රැජින මල්කි දිසානායක මෙන්ම මෙම ජයග්‍රාහී නිරූපණ ශිල්පීන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment