ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් කිරුළේ ඔටුනු පළඳියි – ශූරතාව දිනාගත් හය වැනි වතාව

531

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11 වෙනිදා) ඩුබායි ක්‍රීඩාංගණයේදී සමත් වූයේය.

පකිස්තානය සමග පැවැති එම අවසන් මහා තරගයෙන් ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත් හය වෙනි අවස්ථාව බවට එය පත් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 170ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස පකිස්තානය සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 143ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රභල දායකත්වයක් සැපයූ වනිදු හසරංග කඩුලු 3ක් සහ ලකුණු 36ක්ද, ප්‍රමෝද් මධුෂාන් කඩුලු 4ක් සහ භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71ක් ද ලබා ගත්හ.

ශ්‍රී ලංකාව නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 6 ක් දැවී ලබා ගත් ලකුණු ලකුණු 170 හඹා ගිය පකිස්තාන කණ්ඩායමේ පළමු කඩුලු දෙකම එක ළඟ පන්දු දෙකකදී දවා ගැනීමට සිය දෙවෙනි ජාත්‍යන්තර තරගය සඳහා ක්‍රීඩා කළ ප්‍රමෝද් මධුෂාන් සමත් වූයේය.

පකිස්තාන නායක බාබර් අසාම්ගේ ඉනිම ලකුණු 5කට නිමා කළ යොවුන් දකුණත් වේග පන්දු යවන්නා යොමු කළ ඊළඟ පන්දුව නතර වූයේ නව පිතිකරු ෆකර් සමාන් ගේ කඩුල්ලෙන් බේල්ස් ඉවත් කරමිනි.

ප්‍රමෝද් ගේ එම පන්දුවට එල්ල කළ පහර පිත්තේ අග කොණේ වැදී යළි කඩුල්ලේ වැදීමෙන් ෆකර් සමාන් දැවී ගිය අතර ඉෆ්තිකාර් අහමඩ් ගේ කඩුල්ලටද හිමිකම් කීමට ප්‍රමෝද් සමත් වූයේය. ඒ සමගම ලකුණු 71ක් ලෙස වාර්තා වූ පකිස්තාන ඉනිමේ හොඳම ලකුණු සබඳතාව බිඳ දමා තරගයේ පාලනය පකිස්තානයෙන් ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට හැකි විණි.

ප්‍රහාරාත්මක පිතිකරු මොහොමඩ් නවාස් ගේ කඩුල්ල ලකුණු 6කට දවා ගැනීමට චාමික කරුණාරත්න සමත් වූයේ එතෙක් ක්‍රීඩාංගණයේ පැවැති ‘පකිස්තාන් සින්දාබාද්’ ඝෝෂාවන් අතුරුදන් කරමිනි.

අනතුරුව සිය අවසන් පන්දු වාරය සඳහා පන්දුව අතට ගත් වනිදු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායමටත් ඩුබායි ක්‍රීඩාංගණයේ රැඳී සිටි ශ්‍රී ලංකා නරඹන්නන්ටත් හසරැලි ගෙන එමින් කඩුලු 3ක් බිඳ හෙළුවේ පකිස්තාන ප්‍රේක්ෂකයන් කඳුළු ගඟක ගිලෙන්නට යන බවට අනතුරු හඟවමිනි.

ලොව අංක එකේ පන්දු වාර 20-20 පිතිකරු මොහොමඩ් රිස්වාන්ගේ හිසරදකාරී කඩුල්ල ලකුණු 55කට එහිදී දවාගත් වනිදු කුශ්ඩිල් ශා ගේ සහ අසීෆ් අලී ගේ කඩුලු ද දවා ගත්තේය.

පන්දු වාර 15ක් තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 101 ක් ලෙස සටහන් වූ පකිස්තාන ඉනිම පන්දු වාර 17 අවසන් වෙද්දී වරෙක කඩුලු 7ක් දැවී ලකුණු 112ක් ලෙස දිස් විණි.

ප්‍රමෝද් මධුෂාන් සිය පන්දු වාර 4 තුළදී කඩුලු 4ක් දවා ගෙන ශ්‍රී ලංකාවට ජය ගෙන දීමට මහඟු මෙහෙවරක් ඉටු කළේය.

ඩුබායි ක්‍රීඩාංගණයේ මෙන්ම මෙවර තරගාවලියේ දී ද තරගයේ තීරණය සඳහා බෙහෙවින් බලපෑ කාසියේ වාසිය පකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම්ට හිමි විය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීම පිණිස ලද ආරාධනාව මත පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල තරගයේ තුන්වෙනි පන්දුවේදී බිඳ දැමීමට පකිස්තාන ආරම්භක වේග පන්දු යවන්නා වූ නසීම් ශා සමත් වූයේය.

පකිස්තානයට එරෙහිව පසුගිය තරගයේ මෙන්ම මෙම තරගයේදීද තමන් මුහුණ දුන් පළමු පන්දුවේදීම කුසල් මෙන්ඩිස් එසේ දැවී ගියේ නසීම් ශා පැයට කිලෝමීටර් 145ක වේගයකින් යොමු කළ පන්දුවක් කඩුල්ල තුළට රිංගමින් සිය මැද ඉන්න ඉගිල්ලී යෑමෙනි.

එම තරගයේදී වගකීම් විරහිත පහරක් එල්ල කරමින් ලකුණු නොලබා දැවී ගිය අනෙක් පිතිකරුවා වූ ධනුෂ්ක ගුණතිලක මෙම තරගයේදී ද එක් ලකුණකට දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 36ක් ලෙස සටහන් කරමිනි.

ධනුෂ්ක ගේ කඩුල්ල දවා ගත් හැරිස් රවුෆ් ඊට පෙර පන්දු වාරයේදී පැතුම් නිශ්ශංකව ක්‍රීඩාගාරයට ආපසු හරවා යැවීමට සමත් වූයේ ශ්‍රී ලංකා පැතුම් බොඳ කරමිනි. එහිදී විශ්වසනීය පිතිහරඹයක නිරත වෙමින් අලංකාර ඩ්‍රයිව් සහ කවර් ඩ්‍රයිව් පහර කිහිපයකින් සිය ඉනිම සරසා ගැනීමට සමත් වූ ධනංජය ද සිල්වා ගේ ධනාත්මක පිතිහරඹය ඩුබායි ක්‍රීඩාංගණයට රැස්ව සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට යම් අස්වැසිල්ලක් ගෙන දුන්නේය.

එහෙත් පන්දු යවන්නා ගේ හිසට ඉහළින් හතරේ සීමාව කරා පන්දුව යොමු කිරීමට ගත් උත්සාහය වැරදී ගිය ධනංජය ලකුණු 28 කට දැවී ගිය අතර නායක දසුන් ශානක ගේ ඉනිම ඉදිරියේ ඊයේ සටහන් වූයේ ලකුණු 02කි.

ශදාබ් ඛාන් ගේ පන්දුවක් හමුවේ දසුන් දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම සම්බන්ධතාව සටහන් විය. හයවෙනි කඩුල්ල වෙනුවෙන් භානුක රාජපක්ෂ සමග එක් වූ වනිදු හසරංග එහිදී වේගවත් ලකුණු 36ක් රැස් කළේය. පන්දු 21 කට මුහුණ දුන් වනිදු හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් එල්ල කිරීමට සමත් වූයේය. ලකුණු 58දී භානුක සමග සම්බන්ධතාව ඇරඹූ වනිදුගේ ඉනිම නිමා වනවිට දෙදෙනා අතර ලකුණු සම්බන්ධතාව ද 58ක් විය.

කණ්ඩායම තමාගෙන් බලාපොරොත්තු වන්නේ යම් දෙයක්ද ඒ බලාපොරොත්තුව නොඅඩුව තමන් විසින් ඉටු කරන ලද ඉනිමක් බවට ඊයේ තරගය පත් කර ගත් මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් විය.

ලකුණු 36ට කඩුලු 3ක් බිඳ වැටී අවදානම් තත්ත්වයකට පත්ව තිබූ තරගයේ වගකීම සිය කර මතට ගත් වමත් පිතිකරුවා ඊයේ සිය ඉනිම නිමා කළේ තරගයේ අවසන් පන්දු දෙකටම පිළිවෙළින් හතරේ සහ හයේ පහරක් එල්ල කරමිනි.

එම පන්දු වාරයේදී නසීම් ශා ගෙන් ලකුණු 15ක් උදුරා ගත් භානුක සහ චාමික දෙදෙනා ඊට පෙර නසීම් ශා යොමු කරන ලද පන්දු වාරයේදී ද යෝධ හයේ පහර දෙකක් සමග ලකුණු 16ක් ලබා ගත්හ.

භානුක පන්දු 45කදී නොදැවී ලකුණු 71ක් ලබා ගත් අතර චාමික ගේ නොදැවුණු ඉනිම ලකුණු 14කි.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 170 යි. (පැතුම් නිශ්ශංක 08, කුසල් මෙන්ඩිස් 00, ධනංජය ද සිල්වා 28, ධනුෂ්ක ගුණතිලක 01, භානුක රාජපක්ෂ (නොදැවී) 71, දසුන් ශානක 02, වනිදු හසරංග 36, චාමික කරුණාරත්න (නොදැවී) 14, නසීම් ෂා 1/40, මොහොමඩ් හස්නෙයින් 0/41, හැරිස් රවුෆ් 3/29, ශාදබ් ඛාන් 1/28, ඉෆ්තිකාර් අහමඩ් 1/21, මොහොමඩ් නවාස් 0/03)

පාකිස්තානය පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 147 යි. (මොහොමඩ් රිස්වාන් 55, බාබර් අසාම් 05, ෆකාර් සමාන් 00, ඉෆ්තිකාර් අහමඩ් 32, මොහොමඩ් නවාස් 06, කුෂ්ඩිල් ෂා 02, අසීෆ් අලී 00, ශාදබ් ඛාන් 08, හැරිස් රවුෆ් 13, නසීම් ෂා 04, මොහොමඩ් හස්නෙයින් (නොදැවී) 08, ඩිල්ෂාන් මධුශංඛ 0/24, මහීෂ් තීක්ෂණ 1/25, ප්‍රමෝද් මධුෂාන් 4/34, වනිදු හසරංග 3/27, චාමික කරුණාරත්න 2/33, ධනංජය ද සිල්වා 0/04,)

කුෂාන් සුබසිංහ ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට
 

advertistmentadvertistment
advertistmentadvertistment