වයඹ පළාතේ රෝහල් 4ක සෞඛ්‍ය පහසුකම් නැංවීමට රු. මි. 415ක්

51

ආණමඩුවට නව රුධිර කාන්දුපෙරණ ඒකකයක්

සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් පෙරේදා දින (28 දා) වයඹ පළාතේ රෝහල් 04 ක විශේෂ නිරීක්ෂණයක නිරත විය.

ඒ අනුව කුලියාපිටිය ශික්ෂණ රෝහල, ආණමඩුව මුලික රෝහල, මාරවිල මුලික රෝහල, දංකොටුව ප්‍රාදේශීය රෝහල යන රෝහල් සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය.

මෙහිදී ආණමඩුව රෝහලේ සිදු කළ නිරීක්ෂණයේ දී නිදන්ගත වකුගඩු රෝගය හේතුවෙන් වයඹ පළාතේ වකුගඩු රෝගීන් රුධිර කාන්දුපෙරණ කටයුතු සිදුකර ගැනීමේ දී පත්ව ඇති අසීරුතාවන් පිළිබඳව අවධානය යොමු කරමින් රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර දෙකක් සමගින් නව රුධිර කාන්දුපෙරණ ඒකකයක් ආණමඩුව රෝහලේ කඩිනමින් ස්ථාපිත කිරීමට තීරණය කරන ලදී.

එමෙන්ම ආණමඩුව රෝහලට අත්‍යාවශ්‍ය උපකරණ මිලදී ගැනීමට සහ සංවර්ධන කටයුතු සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මුදල් යටතේ රුපියල් මිලියන 15 ක මුදලක් ලබාදීමට ද, මාරවිල මුලික රෝහලට රුපියල් මිලියන 180 ක්, දංකොටුව ප්‍රාදේශීය රෝහලට රුපියල් මිලියන 20 ක්, කුලියාපිටිය ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 200 ක මුදලක් ද වශයෙන් අත්‍යාවශ්‍ය උපකරණ මිලදී ගැනීම්, නඩත්තු හා සංවර්ධන කටයුතු සහ ව්‍යාපෘති අවසන් කිරීම සඳහා ලබාදීමට තීරණය කරන ලදී.

මෙරට රෝහල්වල පවතින පුරප්පාඩු පිළිබඳව 2017 වසරේ සිට කිසිඳු යාවත්කාලීන කිරීමක් සිදුව නොමැති බවත්, රෝහල්වල අත්‍යාවශ්‍ය සේවා කිහිපයකට අදාළව මෙම වසර තුළ බඳවා ගැනීම් සිදු කිරීමට අඛණ්ඩ උත්සාහයක යෙදෙන බව ද සෞඛ්‍ය ඇමැතිවරයා මෙහිදී පැවැසීය. කුරුණෑගල, කුලියාපිටිය සහ දඹුල්ල රෝහල්වලට සීටි ස්කැනර් යන්ත්‍ර ලබාදීමට කටයුතු කරන බව ද පැවැසීය.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු නිලධාරීන් විසින් රෝහල්වල බාහිර රෝගී අංශ, වාට්ටු, ශල්‍යාගාර, ප්‍රාථමික ප්‍රතිකාර ඒකක, ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති, ඖෂධාගාර ඇතුළු අනෙකුත් අංශ නිරීක්ෂණයට ලක් කරන ලදී.

මෙම අවස්ථාවන් සඳහා රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය සුදත් ධර්මරත්න, දිනිප්‍රිය හේරත්, පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් අධිකාරිවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment