මවක් වීමට පතන දියණියන් වෙතටයි

436

වර්තමානයේ බොහෝ තරුණ දියණියන් විවාහ වූ විට දරුඵල පමාවීම් ගැන පවසති. එනම් ඔවුන් තුළ මඳසරුබව පවතින බව සඳහන් කරති.

සාමාන්‍යයෙන් මඳසරුබව ලෙස පවසන්නේ දරු ගැබක් හටගැනීම සඳහා විවාහක සැමියා සහ බිරිඳ එක්වූ විට නිසි කලට ගැබ් ගැනීමක් සිදු නොවීමය. ඒ සඳහා දෙදෙනාගේම දුර්වලතා හේතුවිය හැකිය. නමුත් කාන්තාවන්ගේ පවතින මඳසරුබව පිරිමින්ට වඩා ඉහළය.

කාන්තාවන්ට මඳසරුබව මතුවීමට බලපාන හේතු මොනවාද කියා විමසා බැලීමේදී ඒ සඳහා බලපාන ප්‍රධාන හේතු දෙකක් ඇත. පළමු හේතුව ලෙස ආහාර රටාව හැඳින්විය හැකිය. දෙවැනි හේතුව ජිවන චර්යාවය.

● ආහාර රටාව

කාන්තාවකගේ සරුඵලබව දක්වන හොඳම ලක්ෂණය වන්නේ ඔසප් චක්‍රයේ ක්‍රමවත් බවය. දින 28 කට වරක් ඔසප් වීමක් සිදුවේ නම් එය වේදනාකාරී නොවේ නම් අධික ලෙස රුධිරය පිට නොවේ නම් සහ ඔසප් වීම දින 03 කට පමණ සීමාවේ නම් ඇයගේ ඔසප් චක්‍රය නිවැරදිය. එවැනි දියණියක විවාහ වූ විට නිසි කලට දරු කලලයක් ඇති කරගත හැකිය. නමුත් ඔසප් වීම අක්‍රමවත්ව සිදුවේ නම්, ඔසප් වීමේදී අධික වේදනාවක් මතුවේ නම් සහ දින කිහිපයක් අධිකව රුධිරය පිටවේ නම් එය අක්‍රමවත් ඔසප් චක්‍රයකි. එවැනි දියණියක විවාහ වූ විට දරු කලලයක් ඇති කර ගැනීමේදී පමාවීම් සිදුවේ.

මෙලෙස ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ ඇය කුඩා කල සිට ගනු ලබන ආහාර පානය. රසකාරක යෙදූ ආහාර පාන කෘත්‍රිමව සකස් කළ ආහාර වර්ග ආදිය දිනපතා ගැනීම නිසා ඇයගේ සිරුරේ හටගන්නා ස්ත්‍රී හෝමෝනවල වෙනස්කම් මතුවේ.

ඒ සමගම ඇයගේ සිරුර මහත් වේ. මුහුණේ රෝමකූප මතුවේ. සම දුර්පැහැ වේ.

එබැවින් කුඩා කල සිට ස්වභාවික ආහාර වර්ග ගැනීමට හුරු විය යුතුය. කඩල, මුංඇට, කවුපි වැනි ධාන්‍ය වර්ග නිතර ආහාරයට ගත යුතුය.

මෙහිදී මඳසරුබව නැතිකර ගැනීම සඳහා ආහාරයට ගත හැකි ඉතා ගුණදායී ආහාරයක් වන්නේ මුරුංගාය. එහි කොළ, පොතු ආදිය කැඳ ලෙස සාදාගෙන දිනපතා ආහාරයට ගත හැකිය.

එසේම මෝරපු මුරුංගා මදය සූරාගෙන එය ව්‍යංජනයක් ලෙස සාදා ආහාරයට ගත හැකිය. ඉන් මඳසරුබව නැති කරගත හැකිය.

මඳසරුබව ඇති දියණියන් පලතුරු වර්ග ආහාරයට ගැනීමේදී රසායන ද්‍රව්‍ය භාවිත කර ඵල ලබාගත් පලතුරු වර්ග ආහාරයට නොගත යුතුය.

එසේම කෘත්‍රිම ලෙස හෝමෝන ලබාදී වර්ධනය කරගත් කුකුළු මස් ආහාරයට නොගත යුතුය.

මෙවැනි ආහාර වර්ග ගැනීම මගින් පවතින මඳසරුබව තව තවත් වැඩි වේ.

එසේම අප ගනු ලබන උෂ්ණාධික ආහාර නිසා සිරුරේ මතුව ඇත උෂ්ණාධික බව තව තවත් වැඩි වේ. මඳසරුබවින් පෙළෙන බහුතරයක් දියණියන්ගේ සිරුරු උෂ්ණාධික බවින් යුක්තය. මෙම උෂ්ණාධික බව නිසා ඔවුනගේ ගර්භාෂය ඇතුළත වෙනස්කම් හටගනී. එනම් ගර්භාෂයේ ගෙඩි හටගැනීම, ගර්භාෂයේ බිත්ති ඝන වීම ආදිය සිදුවේ. ඒ නිසා සිරුර සිසිල් කරගත යුතුය. ඒ සඳහා කැඳ වර්ග පානය කළ හැකිය. එහිදී සව්, බාර්ලි, රුලං, මුංඇට, කිතුල් පිටි, තණහාල් ආදී කැඳ වර්ග පානයට යොදාගත හැකිය.

එසේම බාර්ලි භාවිතා කිරීමේදී බාර්ලි තම්බා එහි වතුර පානය කිරීම මිස බාර්ලි ඇට ආහාරයට නොගත යුතුය. බාර්ලි ඇට ආහාරයට ගැනීමෙන් සිරුරේ උෂ්ණාධික බව වැඩිවේ.

මෙම කැඳ වර්ගවලට අමතරව කොළ කැඳ වර්ග ඕනෑම වර්ගයක් පානය කළ හැකිය

මේ සියලු ආහාර වර්ග සමග දිනපතා හොඳින් පිරිසිදු ජලය පානය කළ යුතුය.

● ජීවන රටාව

අතීතයේදී නම් කාන්තාවෝ වී තම්බා කොටා සහල් සකස් කරගෙන ආහාරයට ගත්හ. ඉන් ඔවුනට හොඳ ව්‍යායාමයක් ශරීරයට ලැබුණි. නමුත් වර්තමානයේ එවැනි ක්‍රියාවන් සිදු නොවන නිසා දියණියන්ට සිරුර වෙහෙසවීම සඳහා ව්‍යායාමවල යෙදීමට සිදුවේ. ඒ නිසා ඇවිදීම, ක්‍රීඩා කිරීම ආදියට කුඩා කල සිට යොමු විය යුතුය.

තමා පරිහරණය කරන ඇඳුම් පැළඳුම් නිසා ද මඳසරුබව ඇතිවේ. ඒ නිසා කෘත්‍රිම රෙදිපිළිවලින් සකස් කළ යට ඇඳුම් භාවිතය වෙනුවට කපු රෙද්දෙන් සකස් කළ යට ඇඳුම් භාවිත කළ යුතුය.

මෙය වර්තමනායේ මඳසරුබවින් පෙළෙන බොහෝ දියණියන්ට බලපා ඇති ගැටලුවකි.

එසේම සෑම දියණියක්ම දිනකට පැය 08 ක වත් හොඳ නින්දක් ලැබිය යුතුය.

මනසට පීඩා ගෙනදෙන ගැටලු ඇත්නම් වහාම ඒවා විසඳා ගැනීමට නිසි උපදෙස් ලබාගත යුතුය. සිතට සතුට ගෙනදෙන විනෝදාංශවල නිරත විය යුතුය. දවසේ සෑම මොහොතේම ගැටලුවලට මැදිව ඒවා ගැන සිතමින් පසුතැවෙන විට සිරුරේ හෝමෝනවල වෙනස්කම් හටගනී. ඒ නිසා තමා අදහන ආගම දහම අනුව කටයුතු කිරීමට සහ සරල දිවියක් ගෙවීමට පියවර ගත යුතුය.

වර්තමානයේ බොහෝ දියණියෝ අධ්‍යාපන කටයුතු සඳහා, රැකියාවන්හි නිරතවීම සඳහා දවසේ වැඩි කාලයක් යොදවමින් මනස වෙහෙස කරවති. ඉන් සිදුවන්නේ ඔවුන් තුළ දැඩි මානසික පීඩනයක් හටගැනීමය. ඒ නිසා විවාහ වී දරුඵල අපේක්ෂා කරන්නේ නම් මෙලෙස අසීමිතව මනස වෙහෙසවා මානසික පීඩාවන්ට පත් නොවිය යුතුය.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0112560121 ඇමතිය හැකිය.

මවක් වීමට පතන දියණියන් වෙතටයි

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය
කේ. ආර්. අල්විස් වෙදගෙදර,
සුසිලාරාම පාර, මාලබේ.

advertistmentadvertistment
advertistmentadvertistment