වර්ෂ 12කට පසුව ත්‍රිත්ව අවසන් තරගයට වරම් ලබයි

32

“ජනාධිපති කුසලාන” පාසල් රග්බී පාපන්දු තරගාවලිය

ප්‍රථම භාගය නිමා වන විට කරට කර සටනක නිරත වූ කොළඹ සහිරා විදුහලට එරෙහිව පසුව ක්‍රියාත්මක වෙමින් ලකුණු 29 – 12 ක ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට මහනුවර ත්‍රිත්ව විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර “ජනාධිපති කුසලාන” ප්‍රමුඛ පෙළ පාසල් අවුරුදු 19 න් පහළ පිළිමළුන් පිටු දැකීමේ රග්බි පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසන් තරගයට වරම් ලබා ගැනීමට ද ත්‍රිත්ව විදුහලට හැකියාව ලැබිණි.

“ජනාධිපති අභියෝග කුසලාන” රග්බි පාපන්දු තරගාවලියක තීරණාත්මක අවසාන තරගයකට ත්‍රිත්ව විදුහල සුදුසුකම් ලබා ගත්තේ වර්ෂ 12 කට පසුව වීම ද ඒ අතරේ විශේෂත්වයක් ගත්තේය.

තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ත්‍රිත්ව විදුහලට එරෙහිව ප්‍රතිවාදී සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයන් වෙතින් දක්නට ලැබුණු ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව ප්‍රශස්ථ මට්ටමක විය. ප්‍රථම භාගයේ අවසන් මිනිත්තු 04 වන විට 12 – 12 ක් ලෙස ලකුණු පුවරුවේ සටහන් වීම ඒ අතරේ කැපී පෙණුනි.

එහෙත්, දෙවන භාගය ආරම්භ වීමත් සමගම සංවිධානාත්මක ආක්‍රමණයක නිරත වෙමින් පහසු ජයග්‍රහණයක මිහිරි රස පානය කිරීමට ත්‍රිත්ව විදුහලට හැකියාව ලැබිණි. අන්‍යොන්‍ය අවබෝධය මුසු වූ පන්දු හුවමාරුව මෙන්ම උපක්‍රමශීලී ක්‍රීඩා පිළිවෙත හමුවේ ත්‍රිත්ව ජයග්‍රහණය පහසු කර ගත් බව පෙනෙන්නට තිබිණි.

කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණ පිටියේ දී පැවැති මෙම පළමු අවසන් පූර්ව තරගයේ දී ත්‍රිත්ව විදුහල ගෝල් දිනුම් 03 ක් උත්සාහක දිනුම් 01 ක් සහ දඬුවම් පහර 01 ක් මගින් ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර පරාජිත සහිරා පිලට සටහන් කර ගැනීමට හැකියාව ලැබුණේ ගෝල් දිනුම් 01 ක් සහ උත්සාහක දිනුම් 01 ක් පමණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment