කුසලතා දුර්වල නිසා තරග පරාජය වුණා – ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන

235

ඇන්ජලෝගේ සිද්ධිය ගැන ICCයට පැමිණිලි කළා
කිසිවකුගෙන් අපට බලපෑම් එල්ල වුණේ නෑ
ක්‍රීඩකයන්ට මානසික සංවර්ධන පුහුණුවක් ලබාදිය යුතුයි

ලෝක කුසලාන තරගාවලියේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ හිස් ආවරණයේ පටියක් කැඩී යෑමේ සිද්ධියක් මුල්කර ගෙන ඔහු දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කිරීම එම අවස්ථාවේ සිටි විනිසුරුවරුන් ගත් වැරදි තීරණයක් බවත් ඒ ගැන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයට පැමිණිලි කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා ඊයේ (12 දා) පැවසීය.

ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීම සඳහා පැමිණ ඔහු දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කරන විට ඇන්ජලෝට තවත් තත්පර 05 ක් පමණ තිබූ බව හෙළි වී තිබෙන බව ද මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (12 දා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. එම තීරණය වෙනස් කිරීමට බංගලිදේශ නායකයාට ද හැකියාව තිබු බවත් එය නොකිරීම තුළින් ක්‍රීඩාවේ මහත්මා ගතියට යම් බලපෑමක් සිදු වු බවත් කී මහේල තමා ද ෂක්‍ක්‍ නියෝජනය කරන නිසා එවැනි වැරදි නැවත ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සාකච්ඡා කරන බව ද කීය. එම හිස් ආවරණයේ සිදුවීම ක්‍රීඩාවේ සුළු වැරදීමක් බව ද ඔහු කීය.

දසුන් චානක තරග දෙකකට පමණක් ක්‍රීඩා කර අනෙකුත් තරගවලට ක්‍රීඩා නොකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මහේල කියා සිටියේ ඔහුගේ පාදයේ ආබාධයක් නිසා සති දෙක තුනක කාලයක් එය සුවවීමට ගත විය හැකි බවට වෛiවරුන් ප්‍රකාශ කළ බවත්, ඔහු වෙනුවට චාමිකව 15 දෙනාගේ සංචිතයට ඇතුළත් කළ බවත්, දසුන් තවදුරටත් ඉන්දියාවේ තබා ගත්තේ සුවවෙමින් සිටින නිසා බවත් ඔහු කීය. ඔහු සුව වුවහොත් යළි කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට අදහසක් තිබු බව ද මහේල කීය. දින 12 ක් පමණ වන විට ඔහු සුවය ලැබු බව ද මහේල පැවසීය.

තරගාවලියේ කිසිදු පාර්ශ්වයකින් තමා ඇතුළු පුහුණුකරුවන්ට බලපෑම් එල්ල නොවූ බවත් කණ්ඩායමේ කුසලතා දුර්වල මට්ටමක පැවතීම නිසා තරග පරාජය වූ බවත් ඔහු කීය. තරග පරාජය වීම ගැන තමා කනගාටුව ප්‍රකාශ කරන බව ද ඔහු කීය. වන්කඩේ ක්‍රීඩාංගණයේ ඉන්දියාව සමඟ පැවති තරගයේ ක්‍රීඩාංගණයේ තණතීරුව ගැන අධ්‍යනයකින් සිටි නිසා දෙවනුව පන්දුවට පහරදීමට තීරණය කර සිටි බවත් එම තීරණය නිවැරදිවීමට ඉන්දියානු ආරම්භක පිතිකරු දෙවැනි පන්දුවේදී දැවී යෑමත්, ඒ සමගම උඩපන්දු දෙකක් ගිලිහී නොගියා නම් දැක ගැනීමට හැකියාව තිබු බවත් මහේල පැවසීය. ක්‍රීඩකයන්ගේ මානසික සංවර්ධනය සඳහා පුහුණුවක් ලබාදිය යුතු යැයි ද ඔහු කීය.

තරග ජය පරාජයවීම සාමාන්‍ය දෙයක් බවත්, පරාජයන් වූ විට එහි අඩුපාඩු ප්‍රකාශ කිරීම ලෙහෙසි බවත් තමන්ගේ කාලයේදී එවැනි තත්ත්වයන් තිබූ බවත් ඔහු කීය. තමා ඇතුළු පුහුණුකරුවන්ට සිදුකරන ගෙවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ අදහස් දක්වා තිබුණත් වෘත්තීය මට්ටමේ අයට සිදුකරන ගෙවීම ඒ ආකාරයෙන් තිබිය යුතු බවත් කී මහේල විදෙස් රටකදී ශ්‍රී ලංකාවේ ගෙවන මුදලට වඩා වැඩි ගෙවීමක් කරන බවත් කීය. වසර 20 ක පමණ සිටි විදෙස් පුහුණුකරුවන් වෙනුවෙන් ගෙවීම් කළ බවත් එම ගෙවීම් දේශීය වශයෙන් වෘත්තියේ යෙදෙන පිරිසට ගෙවීම වරදක් ලෙස තමා නොදකින බවත් කීය. මෙවැනි දේවල් ප්‍රකාශ කිරීම නිසා ජනතාව අතරට වැරදි මතයක් ඇතිවන බව ද ඔහු කීය.

මෙවර තරගාවලියේදී දඟ පන්දු යවන්නන්ගේ අඩුවක් පැවති බවත් එම නිසා මෙරට තුළ පවත්වන ක්‍රීඩා සමාජ අතර තරග පවා පැවැත්වීමේදී සුදුසු තණතීරු සකස් කළ යුතු බව දැනුම් දී තිබෙන බව ද මහේල කීය.

දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කර තිබීම ඉක්මනින් ඉවත් කරාවි යැයි බලාපොරොත්තු වන බවත්, ක්‍රීඩකයන්ගේ වැරදි හදාගෙන ක්‍රීඩා කිරීම ගැන අරමුණ බවත්, ක්‍රිකට් පාලනය හෝ වෙනත් අයගේ ප්‍රශ්න තම කණ්ඩායමට අදාළ නැති බවත් ඔහු කීය.
චමින්ද සිල්වා
ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment