වැඩි පඩි නොදෙන වතු ‘කම්බස්’

52

වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කරමින් රජය නිකුත් කළ ගැසට් නිවේදනය උල්ලංඝනය කළ වතුවල බදු ගිවිසුම් අවලංගු කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කම්කරු ඇමැති මනූෂ නානායක්කාර මහතා වෙත උපදෙස් ලබාදී ඇත.

බදු ගිවිසුම් සම්බන්ධයෙන් නව නීති සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. වතු රජයට පවරා නොගන්නා බවත් බදු කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කොට වෙනත් සමාගම් වෙත අලුත් බදු ගිවිසුමක් යටතේ එම වතු බදු දීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා මනූෂ නානායක්කාර ඇමැතිවරයාට දුන් උපදෙස්වල සඳහන් වේ.

රජය නියම කළ වැටුප වැඩි කළ නොහැකි බවත්, වතු පාඩු ලබන බවත් කියන්නේ එහි නිසි කළමනාකාරිත්වයක් නොමැති හෙයින් බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා එම වතු නැවත ආණ්ඩුවේ පාලනයට ගැනීමට කිසිසේත් අවශ්‍ය නැතැයි මනූෂ නානායක්කාර ඇමැතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත. ඒ අනුව අලුත් සමාගම් වෙත මෙම වතු බදු දෙන ලෙස ජනාධිපතිවරයා ඇමැති මනූෂ නානායක්කාර මහතාට දැනුම් දී තිබේ.

රජය විසින් බදු ගිවිසුම් අහෝසි කරන වතු සමාගම් බදු ගැනීමට අලුත් සමාගම් රැසක් දැනටමත් ඉදිරිපත්ව සිටින බවත් එයින් වඩාත්ම සුදුසු සමාගම්වලට ගිවිසුම් අහෝසි කෙරුණු වතු බදු දෙන බව මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

රජය සතු වතු 22 ක් පමණ මෙලෙස බදු පදනම මත පෞද්ගලික අංශය වෙත පවරා ඇති අතර එම වතු රජය සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් අවලංගු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කීවේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment