අයි පී මැරූ ඝාතකයා STF ප්‍රතිප්‍රහාරයෙන් මැරුම් කයි

992

අපරාධය කළේ කරන්දෙණියේ සුද්දාගේ ඕඩරයටලු!

දකුණු පළාතේ පාතාල කල්ලි මර්දනය කිරීමේලා අමිල සේවයක් කළ හිටපු පොලිස් පරීක්‍ෂක බාලේන්ද්‍රසිංහ මහතා වෙඩි තබා මරා දැමුවේ “කරන්දෙණියේ සුද්දා”නමැති පාතාල නායකයාගේ නියෝග මත බව පෙහළිකරගත් පොලිස් විශේෂ කාර්ය බළකාය එම ප්‍රහාරය මෙහෙයවූ පාතාල ප්‍රබලයා අත්අඩංගුවට ගැනීමට ඊයේ (12දා) අලුයම මීටියාගොඩට ගිය අවස්ථාවේදී ඇති වූ වෙඩි හුවමාරුවකදී එස්. ටී. එෆ්. වෙඩි ප්‍රහාරයකට ලක්ව ඔහු ඝාතනය වී තිබේ.

මීටියාගෙඩ පොළ පාර මහවත්ත ප්‍රදේශයේ නිවසක මෙම පාතාල මැරයා සැඟවී සිටින බවට ලද තොරතුරක් මත එම නිවස වැටලූ අවස්ථාවේ ඔහු විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර එහිදී එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් මොහු මියගොස් තිබේ.

අයි පී මැරූ ඝාතකයා STF ප්‍රතිප්‍රහාරයෙන් මැරුම් කයි

විශේෂ කාර්ය බළකායේ රාජගිරිය බුද්ධි අංශ විශේෂ ඒකකයේ නිලධාරීන්ගේ ප්‍රහාරයෙන් මරුමුවට පත්ව ඇත්තේ 42 හැවිරිදි සංජීව ප්‍රේමකුමාර සිල්වා නමැති අයෙකි.

මෙම පාතාල සාමාජිකයා කරන්දෙණියේ සුද්දා සහ ඔහුගේ සොහොයුරා වන රාජු විසින් මෙහෙයවනු ලබන පාතාල කල්ලියේ ප්‍රබල සාමාජිකයෙකි. කොල්ලකෑම්, විවිධ පුද්ගලයන් කපා කොටා තුවාල කිරීම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ පොලිස් පරීක්‍ෂක බාලේන්ද්‍රසිංහ මහතා අම්බළංගොඩ ඇල්පිටිය ඇතුළු ප්‍රදේශ ගණනාවක පොලිස් ස්ථානවල රාජකාරි කරද්දී කරන්දෙණියේ සුද්දා සහ ඔහුගේ සොහොයුරා වන රාජු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.

මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටින පොඩි ලැසී පවා අත්අඩංගුවට ගෙන තිබුණේ බාලේන්ද්‍රසිංහ මහතා විසින්ය. පාතාල කල්ලිවලට මහත් හිසරදයක් වූ මෙම පොලිස් නිලධාරියා මීට වසර එකහමාරකට පෙර බන්ධනාගාරගත කෙරුණේ පැමිණිලිකරුවකුට තර්ජනය කළ බවට එල්ල වූ චෝදනාවක් මතය.

මීට සති දෙකකට පමණ උඩදී බාලේන්ද්‍රසිංහ මහතා ඇප ලබා නිවසට පැමිණි අතර ඔහු නැවත පොලිස් සේවයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටියේය.

බාලේන්ද්‍රසිංහ මහතා නැවත පොලිස් සේවයට එක්වුවොත් තම කල්ලියේ සාමාජිකයන්ට මරු පහරක් එල්ල වන බව සිතූ කරන්දෙණියේ සුද්දා සහ රාජු ඔහු ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින සුද්දා සහ රාජු විසින් ලබාදී ඇත්තේ විශේෂ කාර්ය බළකාය අතින් ඊයේ මරුමුවට පත්වූ සංජීව ප්‍රේමකුමාර නමැත්තාටය.

පොලිස් පරීක්‍ෂකවරයා ඝාතනය කිරීමේ සැලසුම සඳහා සුද්දා සහ රාජු විසින් මෙම කල්ලියට රුපියල් විසිලක්‍ෂයකට ආසන්න මුදලක් ලබාදී ඇති බවද හෙළිවී තිබේ.

කරන්දෙණියේ සුද්දාගේ සොහොයුරා වන රාජු යුද හමුදා විශේෂ බළකායෙන් පලා ගිය සෙබළකු වන අතර ඊයේ මරුමුවට පත්වූ සංජීව ප්‍රේමකුමාර ද එම බළකායේම රාජු සමග එකට රාජකාරි කළ සෙබළෙකි.

සංජීව ප්‍රේමකුමාර හමුදා විශේෂ බළකායෙන් පලා ගොස් රාජුගේ පාතාල කල්ලියට සම්බන්ධ වී ඇත.

පොලිස් පරීක්‍ෂක බාලේන්ද්‍රසිංහ මහතා ඝාතනය කිරීමේ සැලසුම සකස්කර ඝාතකයන්ට ආයුධ ලබාදී ඔත්තු බලා ඇත්තේ සංජීව ප්‍රේමකුමාර බව විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

කරන්දෙණියේ සුද්දාගේ මවට අයත් අතහැර දැමූ නිවසක සංජීව ප්‍රේමකුමාර සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම නිවස ඊයේ අලුයම 5.20ට පමණ වටකර ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී ඔහු විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි තබා තිබේ.

එහිදී එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් සංජීව ප්‍රේමකුමාර බරපතළ තුවාල ලැබූ අතර බළපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබිණි.

සිද්ධිය වූ ස්ථානයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ද විශේෂ කාර්ය බළකාය සොයාගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම විමර්ශන සිදු කරයි.

හේමන්ත රන්දුණු, ලලිත් චාමින්ද – එස්. කේ. කළුආරච්චි, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment