හර්ෂ අස් වුණා: දැන් චරිත කෝප් සභාපති කරන්න

193

විපක්‍ෂ නායක සජිත් ඉල්ලයි

පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) සඳහා එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (04දා) පාර්ලිමේන්තුවේදී යළි යෝජනා කරනු ලැබීය.

සමගි ජන බලවේගයෙන් නම් කර තිබූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම වෙනුවට චරිත හේරත් මහතාගේ නම යෝජනා කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය. එහිදී හෙතෙම මෙසේද කියා සිටියේය.

කෝප් කමිටුවට අප විසින් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාව යෝජනා කර තිබුණා. ඒත් එතුමා ස්වේච්ඡාවෙන්ම ඉන් ඉල්ලා අස්වුණා. ඒ පුරප්පාඩුවට කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීතුමාව අපි යෝජනා කරනවා. අවස්ථා ගණනාවකදීම මමත් කිරිඇල්ල මන්ත්‍රීතුමාත් විපක්ෂයේ බොහෝ දෙනකුත් කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධුර ලබා දෙන්න කියලා කථානායකතුමාගෙන් ඉල්ලීම් කළා. ඒ සඳහා කබීර් හෂීම් සහ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරුන්ගේ නම් අපි යෝජනා කළා. ඒත් දැන් ඒ වෙනුවට වෙනත් ආකාරයකින් සභාපති පත් කරන්න යනවා කියලා ආරංචියි. මේ ආයතනවල සභාපති ධුර විපක්ෂයට ලබා දීම ප්‍රමාද කරලා දැන් නොලැබෙන තත්ත්වයත් මතු වෙලා. දැන් සමහර අය කියනවාලු විපක්ෂයට දුන්නත් එකයි නැතත් එකයි කියලා. මේ තනතුරු ලබා දෙනවා කියලා වත්මන් ජනාධිපති අගමැතිව සිටින සමයේ පොරොන්දු වුණා. කථානායකතුමාත් පොරොන්දු වුණා. ඒ අනුව කටයුතු කරන්න කියලා ඉල්ලනවා.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන බ්‍රහස්පතින්දා, සිකුරාදා ගන්නවාද කියලා දැනගන්න ඕනා. ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ඒ ගැන ලොකු ගාලගෝට්ටියක් ඇතිවුණා කියලා ආරංචියි. 22 ගන්න බැරි නම් අපි ඉදිරිපත් කොට තිබෙන 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගන්න. අපි පූර්ණ සහාය දෙන්න සූදානම්.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා-

පසුගිය සතියේ රැස්වුණු පක්ෂ නායක රැස්වීමේදී තමයි බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙකම අපි 22 වැනි සංශෝධනය ගන්නවා කියලා එකඟ වුණේ. එහි යම් යම් සංශෝධන පිළිබඳව ඒ අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරන්න අධිකරණ ඇමැතිතුමා කටයුතු කරයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment