ඇමෙරිකාවේ ලෝඩර්හිල් නුවර සෙන්ට්‍රල් බ්‍රෝවඩ් ප්‍රාදේශීය ක්‍රීඩාංගණයට ඊයේ (12 වැනිදා) ඇදහැළුණු වර්ෂාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසීමට තිබූ බලාපොරොත්තු තවදුරටත් ඈතට ඇද ගෙන ගියේය.
පෙරේදා දිනයේ පටන් විටින් විට ඇද වැටුණු එම වැස්ස ඊයේ තවත් අධික වීම මත මෙසේ ශ්‍රී ලංකා බලාපොරොත්තු අවම වී ගියේය.
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (12 වැනිදා) උදෑසන 5 ට පමණ ආරම්භ කිරීමට නියමිතව තිබූ එම තරගය වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමෙන් තොරවම අත්හැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ.
සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට එම තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වූ අතර එසේ තරගය අත්හැර දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීම සඳහා තිබූ බලාපොරොත්තු අවමව ගියේය.
කෙසේ වුවත් අද (13 වැනිදා) ශාන්ත වින්ස්ටන්හිදී පැවැත්වෙන බංග්ලාදේශ – නෙදර්ලන්ත තරගයද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුවහොත් ශ්‍රී ලංකාවට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීම සඳහා යම් සුළු අවස්ථාවක් තිබේ.
ඒ සඳහා ශ්‍රී ලංකාව ඉහළ ලකුණු වේගයක් රඳවාගනිමින් නෙදර්ලන්තය පරාජය කළ යුතු වන අතර බංග්ලාදේශය නේපාලය හමුවේ අන්ත පරාජයක් ලැබිය යුතුය.
කෙසේ වුවද ශ්‍රී ලංකා – නේපාල තරගය වැස්සට සේදී යෑමත් සමග නිල වශයෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට දකුණු අප්‍රිකාව සමත් විය. මේ දක්වා තරග 3 කට සහභාගි වී සිටින දකුණු අප්‍රිකානුවෝ, එම තරග 3 ම ජය ගනිමින් අපරාජිත බව රැකගෙන සිටින අතර ඔවුන්ට මූලික වටයේදී ඉතිරිව තිබෙන්නේ නේපාලයට එරෙහිව ඇති තරගය පමණි.
ශ්‍රී ලංකා නේපාල තරගය නැරඹීම සඳහා නේපාල ප්‍රේක්ෂකයෝ විශාල ප්‍රමාණයක් ලෝඩර්හිල් ක්‍රීඩාංගණයට රැස්ව සිටිනු අයුරු දක්නට ලැබිණි.
කුෂාන් සුබසිංහ ලෝඩර්හිල් නුවර සෙන්ට්‍රල් බ්‍රෝවඩ් ක්‍රීඩාංගණයේ සිට