ජනතා ධනය කොල්ලකෑ 400ක් තාමත් වැඩ!

රාජ්‍ය ආයතන 30කට වැඩි ගණනක දූෂණ, වංචා ගැන විමර්ශන නෑ!

දූෂණ හේතුවෙන් රජයට සිදුවී ඇති පාඩුව කෝටි දහසකට ආසන්නයි

රාජ්‍ය ආයතන, සංස්ථා මණ්ඩල හා සමාගම්වල සිදුවී ඇති දූෂණ, වංචා, අක්‍රමිකතා පිළිබඳ තොරතුරු සෑම වසරකම පාහේ ජාතික විගණන කාර්යාලය මගින් අනාවරණය කරණු ලැබේ. ඒ විතරක් නොව සෑම වර්ෂයකම පාහේ ඇතැම් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තා ඉදිරිපත් කිරීමට ද ජාතික විගණන කාර්යාලය මගින් කටයුතු කර ඇත. එකී වංචා, දූෂණ මෙන්ම විනිවිධභාවයෙන් තොරව සිදුවී ඇති ගනුදෙනු සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ද ජාතික විගණන කාර්යාලය මගින් සිය විගණන වාර්තා මගින් ඉදිරිපත් කොට ඇත. එහෙත් මෙකී විගණන වාර්තාවල සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන් කටයුතු නොකරති.විගණන නිර්දේශ ඔවුන් තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැත.

එමෙන්ම ඇතැම් රාජ්‍ය ආයතන සිය වාර්ෂික මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීම සඳහා විගණන කාර්යාලය වෙත නියමිත දිනට ඉදිරිපත් කිරීමට ආයතන ප්‍රධානීන් කටයුතු නොකරති. ඒ කොයිහැටි වුවද පසුගිය කාලයේ ඇතැම් රාජ්‍ය ආයතන, සංස්ථා, මණ්ඩල හා සමාගම්වල සිදුවූ විවිධ අක්‍රමිකතා, වංචා, දූෂණ රැසක් විගණන වාර්තා මගින් අනාවරණය කොට තිබුණි. ඇතැම් ආයතන මූල්‍ය අක්‍රමිකතා සිදුවී තිබුණේ මිලියන, බිලියන ගණන්වලිනි. එහෙත් මෙකී විගණන වාර්තා අනාවරණයන් බවට පමණක් සීමා වී තිබුණි.

විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා සඳහන් කරන ආකාරයට ජාතික විගණන කාර්යාලය මගින් රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට ලබා දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නොමැති බව හෙතෙම සඳහන් කරන්නේය. ජාතික විගණන කාර්යාලය මගින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම බරපතළ ගැටලුවකි. කොටින්ම කිවහොත් ජාතික විගණන කාර්යාලය මගින් ලබාදෙන නිර්දේශ එකී රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කළයුතු වේ. මෙකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීමට නීති ගෙන ආ යුතු බවට විගණකාධිපතිවරයාගේ අදහසයි.

ඒ විතරක් නොව රාජ්‍ය ආයතන 30කට වඩා වැඩි සංඛ්‍යාවක දූෂණ හා වංචා නිසා නිලධාරීන් 400කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් කාලයක සිට නීතිය ක්‍රියාත්මක කොට නොමැති බවද ජාතික විගණන කාර්යාලය සඳහන් කරන්නේය. මෙකී දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රජයට සිදුවී ඇති පාඩුව කෝටි 1000කට අධිකය. එකී මුදල එම නිලධාරීන්ගෙන් අයකර ගැනීමට විගණන කාර්යාලය මගින් අවස්ථා ගණනකදී නිර්දේශ ඉදිරිපත් කොට ඇතත් මේ දක්වා එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නොමැති බවද ජාතික විගණන කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේය.

මේ අතර දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කරනු ලැබූ නිර්දේශ බොහොමයක් ආයතන ප්‍රධානීන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නැත්තේ එම දූෂණ වංචාවලට එම ප්‍රධානීන් ද සෘජුව හෝ වක්‍රාකාරව සම්බන්ධවී ඇති නිසා බව පෙනී ගොස් ඇති බවද විගණන නිලධාරීහු පෙන්වා දෙති.

ජාතික විගණන කාර්යාලය සඳහන් කරන ආකාරයට බරපතළ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවූ ආයතන 12 ක් පමණ හඳුනාගෙන ඇත. ජාතික විගණන කාර්යාලය මගින් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සහ මුදල් පිළිබඳ කාරක සභාවේ වගකීමකි. අඩුම තරමින් සීනි බදු වංචාව නිසා රජයට සිදුවී ඇති පාඩුව අදාළ ව්‍යාපාරිකයන්ගෙන් අයකර ගැනීමට පවා මෙකී කමිටුවලට මේ වනතෙක් නොහැකිවී තිබුණි. රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් අවස්ථා ගණනාවකදී ප්‍රශ්න කරනු ලැබීය. සීනි බදු වංචාවෙන් රජයට සිදුවී ඇති පාඩුවෙන් තඹ දොයිතුවක මුදලක් හෝ අයකර ගැනීමට හැකිවී නැත. මෙකී ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මගින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක නොවීම බරපතළ ගැටලුවකි. මෙම ව්‍යාපාරිකයන් සඳහා දේශපාලනඥයන්ගේ රැකවරණය ලැබී ඇද්ද යන්න පිළිබඳ සැකයට තුඩු දෙන කාරණයකි.

මේ අතර ජාතික විගණන කාර්යාලය මගින් ලබාදෙන ඇතැම් නිර්දේශ ඇතැම් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් විසින් හෑල්ලුවට ලක්කරන ආකාරයද පෙනී යන බැව් විගණන නිලධාරීහු පවසති. සීනි බදු වංචාව, කාබනික පොහොර හා දියර පොහොර මිලදී ගැනීම, වැඩි මිලට ගෑස් මිලදී ගැනීම, ගල් අඟුරු මිලදී ගැනීම, ගුවන් යානා මිලදී ගැනීම, ඩීසල් ජනක යන්ත්‍ර මිලදී ගැනීම ආදී ගනුදෙනුවලදී සිදුවී ඇති වංචා හා දූෂණ රැසක් විශේෂ විගණන වාර්තා මගින් අනාවරණය කොට තිබුණි. ජාතික විගණන කාර්යාලය මගින් ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක නොවන්නේ ඇයි? මේ පිළිබඳ ජාතික ජනබලවේගයේ මධ්‍යම කාරක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා කියන්නේ මෙවැනි කථාවකි.

ජාතික විගණන කාර්යාලය මගින් රාජ්‍ය ආයතනවල සිදුවී ඇති දූෂණ හා වංචා සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න ඕන, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව මගින්. මෙකී කාරක සභා නියෝජනය කරන්නේ මන්ත්‍රීවරු සහ ඇමැතිවරු. මෙකී වංචා හා දූෂණවලට වක්‍රව හා සෘජුව සම්බන්ධවෙලා තියෙන්නේ ඇතැම් ඇමැතිවරු හා මන්ත්‍රීවරු. ජාතික විගණන කාර්යාලය මගින් වංචා හා දූෂණ අනාවරණය කරලා විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට ඒවායේ තියෙන නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ලංකාවේ විගණන කාර්යාලය තවත් අපරාධ ස්ථානයක් බවට තමයි පත්වෙලා තියෙන්නේ. විගණන කාර්යාලය මගින් දැඩි වෙහෙසක් හා මහන්සියක් දරලා විශාල මුදලක් වැය කරලා විගණන වාර්තා නිකුත් කළද එහි සඳහන් නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පළාත් සභාවල මෙන්ම පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාවල තත්ත්වය ඕක තමයි. මෙකී ගිණුම් කාරක සභාවල වැඩි බලය තියෙන්නේ ආණ්ඩු පක්ෂයට. වංචා හා දූෂණවලට සම්බන්ධ අය ඉන්නේ ආණ්ඩු පක්ෂයේ. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ අය ආණ්ඩු පක්ෂයේ අය විසින් රකින ස්ථානයක් බවට තමයි මෙම කාරක සභා පත්වෙලා තියෙන්නේ. මෙකී කාරක සභාවල බලය විපක්ෂයට දෙනවා නම් තීන්දු තීරණ ගැනීමේ යම් හැකියාවක් තියෙනවා. ගිණුම් කාරක සභාවලට තීන්දු තීරණ ගන්න තියෙන්නේ මූල්‍ය රෙගුලාසිවලට අදාළව. වංචා හා දූෂණවලට අදාළ තීන්දු තීරණ ලිඛිතව තියෙනවා. ඒ අනුව නියෝග නිකුත් කිරීමට තමයි රාජ්‍ය මුදල් හා රාජ්‍ය ගිණුම් කාරක සභාවට තියෙන්නේ. එම නියෝග නිකුත් කරන්නේ නැහැ. ලිස්සලා යන දෙයක් තමයි තියෙන්නේ. මෙකී කාරක සභාවල විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු අඩුයි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු වැඩියි. ඒ නිසා ඒ අයගේ තීන්දු තමයි බලාත්මක වෙන්නේ. ඉන්දියාව වගේ රටක විගණන පනත යොදාගෙන අධිකරණයේ නඩු පැවරීමේ හැකියාව තියෙනවා. ලංකාවේ එහෙම ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. අපේ රටේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුළේ හොරකම් කරන්නේ ඒ අය තීන්දු තීරණ ගන්නෙත් ඒ අය ඒක තමයි තියෙන ගැටලුව යැයි නලින් හේවගේ කියන්නේය.

ජාතික විගණන කාර්යාලය මගින් විශේෂ විමර්ශන මෙන්ම විගණන කටයුතු සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැයකරති. මෙකී කාර්යභාරය ඉටුකිරීම සඳහා විගණන නිලධාරීන් 1302ක් හා සහායක සේවාවලට අයත් නිලධාරීන් 417ක දායකත්වය විගණන කාර්යාලය මගින් ලබාගැනේ. ජාතික විගණන කාර්යාලයේ 2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශය අනුව විගණන කාර්යාලයේ නිලධාරීන්ගේ වැටුප් වේතන, සහ අනිකුත් සේවක ප්‍රතිලාභ ඇතුළු මුළු පුනරාවර්ථන වියදම සඳහා වැයකොට ඇති මුදල රුපියල් දෙසීය හත්කෝටි, හතළිස් හය ලක්ෂ අසූදෙදහස් තුන්සිය අනූහතරකි (2,074,682,394) වාර්ෂිකව මෙතරම් විශාල මුදලක් වැය කොට විගණන කාර්යාලය මගින් සිය කාර්යභාර්ය ඉටුකළ ද දූෂිතයන්ට එරෙහිව බලධාරීන් කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි.

වෛද්‍ය සැපයුම් ලබා ගැනීම හා බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා ලබා දුන් විගණන නිර්දේශ වසර හයකට වඩා වැඩි කාලයක සිට ක්‍රියාත්මක කර නැහැ.

පසුගිය කාලයේ ජාතික විගණන කාර්යාලය මගින් සිදුකරනු ලැබූ විශේෂ විගණන විමර්ශනවලින් දූෂණ වංචා රැසක් අනාවරණය කොට තිබුණි. මේ ඉන් කිහිපයකි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන සඳහන් කළහොත් වංචා හා දූෂණවලට කප්ගැසූ අමාත්‍යාංශයකි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීම හා බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා 2018 දී ලබාදුන් විගණන නිර්දේශ 47 ක් වසර හයකට වඩා කාලයක් ගතවුවද තවමත් ක්‍රියාත්මක කොට නැත. මෙම ක්‍රියාවලිය හා අදාළ වන වෛද්‍ය සැපයුම් අංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ අධිකාරිය පිළිබඳව නිකුත් කළ නවතම විශේෂ විගණන වාර්තාව මගින් මේ බව අනාවරණය කර තිබේ.

මේ අනුව 2018 දී එවකට විගණකාධිපති එච්. එම්. ගාමිණී විජේසිංහ මහතා විසින් මෙකී ආයතන සම්බන්ධයෙන් වූ විගණනයේදී හෙළිවූ දුර්වලතා මගහැර ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය සැපයීම් අවම මිලකට ගෙන බෙදාහැරීම විධිමත් කිරීම සඳහා නිර්දේශ 47 ක් ඉදිරිපත් කර තිබිණි. එම නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් හා මෙතෙක් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් තැනැත්තන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටත් මේ පිළිබඳව තවත් නව නිර්දේශ 19 ක් ඉදිරිපත් කරමින් වත්මන් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා නොබෝදා නිකුත් කළ විගණන වාර්තාව මගින් නිර්දේශ කර තිබුණි. ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවලට අනුව 2022 හා 2023 යන වර්ෂවලදී රෝහල් සඳහා නිකුත් කරනු ලැබූ වෛද්‍ය සැපයුම්වලින් රුපියල් මිලියන 2831,15 වටිනා ඖෂධ, ශල්‍ය උපකරණ, රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත්වීම නිසා භාවිතයෙන් ඉවත්කොට තිබුණි. මෙකී තත්ත්වය අවම කරගැනීම සඳහා කටයුතු කරන ලෙස විගණනය මගින් වසර ගණනාවක සිට විගණන නිරීක්ෂණ මගින් අනාවරණය කළද එය වළක්වා ගැනීමට කටයුතු කර නොතිබුණි.

සීනි බදු වංචාවෙන් අහිමි වූ මුදල රුපියල් මිලියන 16,763ක්

එමෙන්ම 2020 වර්ෂයේදී සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩුකිරීමෙන් පසු මාස 04ක් හා දින 14ක කාලයක් තුළදී රජයට රුපියල් මිලියන 16.763ක බදු ආදායමක් අහිමිවිය. එම බදු වාසිය ලබාගත් පාර්ශ්වයන් නිවැරදි ලෙස හඳුනාගෙන ඉදිරියේ දී හෝ එම ආර්ථික වාසිය පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා සලකා බැලිය යුතු බවට විගණනය මගින් නිර්දේශකොට තිබුණි. එසේ නොමැති නම් රජය විසින් කැප කළ බදු ආදායම රඳවාගත් පාර්ශ්වයන්ගෙන් රජයට ලබාගැනීමේ හැකියාව පිළිබඳ සලකා බැලිය යුතු බවටද විගණනය මගින් නිර්දේශකොට ඇත. එහෙත් සීනි බදු මගඩියට සම්බන්ධ ව්‍යාපාරිකයන්ගෙන් මේ වනතෙක් ශත පහක් හෝ අයකරගෙන නැත.

ගෙන්වනු ලැබූ බාල ඩීසල් විදුලි ජනක යන්ත්‍ර 50 නිරන්තරයෙන් කාර්මික දෝෂයන්ට ලක්වීම නිසා ඉකුත් වර්ෂයේ (2022) ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා කාලය තුළ විදුලිබල මණ්ඩලයට වූ පාඩුව රුපියල් මිලියන 1263කි.

මෙම ව්‍යාපෘතිය යටතේ බහාලුම්ගත මෙගාවොට් 50ක ධාරිතාවකින් යුත් ඩීසල් ජනක යන්ත්‍ර 50ක්, බහාලුම්ගත ට්‍රාන්ස්ෆෝමර් 25ක් බහාලුම්ගත ඉන්ධන ටැංකි 25ක් මිලදී ගැනීමට තීරණය කොට තිබුණි. මෙකී ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල් රුපියල් මිලියන 3000ක් වූ අතර මේ සඳහා කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 10ක මුදලද සහිතව කොන්ත්‍රාත්කරුට ගෙවා ඇති මුළු මුදල රුපියල් මිලියන 2373,32කි.

මෙකී ව්‍යාපෘතිය සම්බන්ධව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විශේෂ විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ මෙම ව්‍යාපෘතියේ අරමුණු ඉටුකර ගැනීමට අපොහොසත් වී ඇති බවය.

විගණනයෙන් 'ඇල්ලුවට හපන්න බෑ'

චීන අසූචි පොහොර ගනුදෙනුව නිසා රජයට වී ඇති පාඩුව රුපියල් මිලියන 1382ක්

රසායනික පොහොර තහනම් කිරීමත් සමග රජය චීනයෙන් කාබනික පොහොර ගෙන්වීමට කටයුතු කරනු ලැබීය. අවසානයේ චීන අසූචි පොහොර තොගයේ පිරිවැයෙන් සියයට 75ක් සඳහා නොසැපයූ පොහොර වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.9කට සමාන රුපියල් මිලියන 1382ක අත්තිකාරම් මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දී තිබුණි. චීන අසූචි පොහොර ගනුදෙනුව නිසා රජයට වී ඇති පාඩුව රුපියල් මිලියන 1382කි. මේ සම්බන්ධව විගණනය මගින් කුමන නිර්දේශ ඉදිරිපත් කළද ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩාවට ලක්ව සිටින රට්ටුන්ට මෙකී පාඩුව දැරීමට සිදුවන බව සක්සුදක්සේ පැහැදිලිය. මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා අයකර ගතයුතු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශ කොට ඇත.

විගණන කාර්යාලය මගින් ද මෙකී පොහොර ගනුදෙනුවේ පාඩුව නිලධාරීන් පිට පටවා ඇත. මේ සඳහා වගකිවයුතු බව කියන දේශපාලනඥයන් සියලු චෝදනාවලින් නිදහස්කොට ඇත්තේය.

නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනයේදී සැපයුම්කරුට මිලියන 49ක් වැඩිපුර ගෙවලා නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමේදී අදාළ සැපයුම්කාර සමාගමට වැඩිපුර ගෙවා තිබූ රුපියල් මිලියන 49ක මුදල අදාළ සමාගමෙන් ආපසු අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. මෙසේ වැඩිපුර ගෙවනු ලැබූ මුදල අදාළ සමාගමෙන් හෝ නියමිත පරිදි ඇගයීම් කිරීමකින් තොරව ගෙවීම් කිරීමට තීරණය කරනු ලැබූ පාර්ශ්වයෙන් අයකරගත යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

මෙකී පොහොර ආනයනය කිරීම සඳහා පුද්ගලික අංශයේ අතරමැදි සමාගමක් යොදාගැනීම හේතුවෙන් රජයට අනවශ්‍ය පිරිවැයක් දැරීමට සිදුවී තිබුණි. නැනෝ නයිට්‍රජන් පොහොර සඳහා අසාමාන්‍ය ලාභයක් සහිත මිලක් ඉදිරිපත්කොට තිබුණි. එසේ තිබියදීත් ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව හා ස්ථාවර තාක්ෂණික කමිටුව ඒ පිළිබඳ විදිමත් සොයා බැලීමක් සිදුකර නොතිබූ බව විගණනය මගින් නිර්දේශකොට තිබුණි. මෙකී පොහොර ගනුදෙනුවේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබූ බව නිරීක්ෂණය වී ඇති බව විගණනය මගින් සඳහන් කොට ඇත.

ගුවන් බස් ගනුදෙනුවෙන් වූ පාඩුව මිලියන 16924ක්

ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් A 350-900 මෙම ගුවන් යානා 04 බදු පදනම මත ලබාගැනීම සඳහා වූ බදු ගිවිසුම අවලංගු කොට තිබුණි. මේ හේතුවෙන් රුපියල් මිලියන දාසය දහස්, නමසිය, විසිහතරයි දශම තුනයි හයක (16,924.36) මුදලක් වන්දි වශයෙන් අදාළ සමාගම වෙත ගෙවීමට ගුවන් සමාගමට සිදුවී තිබුණි. කෙසේ වුවද මෙම ගනුදෙනුවට අදාළව එවකට ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිඳට අයත් සමාගමකට ගෙවීම් කිරීමට එයාර්බස් සේවකයන් එකඟවී තිබූ බවද විගණනය මගින් ද අනාවරණය කොට ඇත. මේ බව එක්සත් රාජධානියේ ක්‍රවන් උසාවියේ තීන්දුවෙන් ද අනාවරණය වී තිබුණි. මේ නිසා නීති උපදෙස් මත පදනම්ව ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් එස්.ඒ.එස්. එයාර්බස් සමාගමෙන් ් 350-900 ගුවන්යානා, මිලදී ගැනීමේ ගිවිසුම අවසන් කර තිබුණි. ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් එස්.ඒ.එස්. එයාර්බස් සමාගම සමග ගුවන් යානා මිලදී ගැනීම සඳහා ගිවිසුම්ගතව තිබූ අතර, පෙර ගෙවුම් ලෙස එස්.ඒ.එස්. එයාර්බස් සමාගම වෙත ගුවන්යානා ගනුදෙනුව සඳහා රුපියල් මිලියන 16,924.36ක මුදල ගෙවා තිබුණි.

එහෙත් මේ සම්බන්ධයෙන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව සමාගම විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ අතර අලාභය අයකර ගැනීමට කටයුතුකර නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මේ නිසා සමාගමට සිදුවූ අලාභය අයකර ගැනීමට එයාර්බස් සමාගමට සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

දුම්රිය හරස් මාර්ගවල සීනු හා විදුලි පද්ධති අක්‍රීය වීම නිසා වූ පාඩුව මිලියන 242ක්

දුම්රිය හරස් මාර්ග සඳහා ස්ථාපිත කරනු ලැබූ සීනු හා විදුලි පද්ධති 50ක වගකීම් කාලය නිමවීමටත් පෙර ක්‍රියාවිරහිතව ඇති අතර මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවී ඇති රුපියල් මිලියන 242.13ක පාඩුව සැපයුම්කරුගෙන් හා එයට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නා ලෙස ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශකොට ඇත.

තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් මෙකී ටෙන්ඩරය ඇගයීමේදී විනිවිධභාවයකින් කටයුතු කර නොමැති බවට අනාවරණය වී තිබුණි. එමෙන්ම තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ප්‍රමාණවත් හා සත්‍ය තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවේ කාර්යභාර්ය නිසි පරිදි ඉටුකිරීම පිළිබඳ සලකා බැලිය යුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.

ගෑස් අර්බුදය පැවති කාලයේදී ලෝක බැංකු අරමුදල යටතේ වැඩි මිලට ගෑස් මිලදී ගැනීම නිසා කෝටි 113ක අමතර බරක් දැරීමට රජයට සිදුවී තිබුණි. ගෑස් මෙටි්‍රක් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 96ක මුදලකට සැපයීමට තෝරාගෙන තිබූ සැපයුම්කරුගේ ටෙන්ඩරය අවලංගු කොට ගෑස් මෙටි්‍රක් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 129 හා 118.83 යන මිල ගණන්වලට මිලදීගෙන ඇත. ගෑස් මිලදී ගැනීමේදී ප්‍රමාද නැව් කුලී ලෙස කෝටි 21ක් ගෙවා ඇති අතර මේ හේතුවෙන් මෙකී ප්‍රසම්පාදනය කිරීමේ විනිවිදභාවය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව විගණනය මගින් සඳහන් කොට තිබුණි.

රුපියල් මිලියන 475.2ක් වටිනා කිරිපිටි කිලෝග්‍රෑම් 720,000ක් සත්ත්ව ආහාර වශයෙන් විකුණලා

මෙකී පාරිභෝජනයට නුසුදුසු කිරිපිටි නිෂ්පාදනයට වගකිවයුතු නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් පවත්වා නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙකී නිලධාරීන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් පාඩුව අයකරගත යුතු බවද විගණනය මගින් නිර්දේශකොට තිබුණි.

එමෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් හා වතු ඉඩම් අක්කරයක් රුපියල් 1561ට සහ පර්චස් එකක් රුපියල් 9.75ක මුදලකට තක්සේරු කර තිබුණි. කොමිසමේ නිලධාරීන් 373 දෙනකු සඳහා පර්චස් එකක් රුපියල් 1000ක මුදලකට පර්චස් 20 බැගින් ඉඩම් අක්කර 46 රුඩ් 01, පර්චස් 5.64ක් බෙදාදී තිබූ අතර, නීත්‍යානුකූල නොවූ මෙම ඉඩම් බෙදාදීම නතර කළ යුතු බවත් බෙදා දුන් ඉඩම් ආපසු පවරා ගැනීම හෝ ඒවායේ වටිනාකම අයකරගත යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment