අසූවැනි ජන්ම දිනය අද සමරන – කොළඹ හුණුපිටිය ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ගලබොඩ ඤාණිස්සර නාහිමි

207

කොළඹ අගනගරයේ පූජනීය ගංගාරාම මහා විහාර පිං බිමෙහි වසර 70කට අධික කාලයක් ජාතික ආගමික අධ්‍යාපනික ශාසනික යුග මෙහෙවරක් සිදුකළ කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පරම පූජනීය අතිගෞරවාර්හ ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ) 80 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.

උන්වහන්සේගේ චරිතය, සිතුම් පැතුම්, ක්‍රියාකාරකම් කිසි දිනක වෙනත් කිසිවකුගේ චරිතයක් තුළින් අප නොදුටුවෙමි. කතා කළ වචන සරල ය. හඬ පෞරුෂය ගාම්භීරය. එඩිතරය. නිර්භීතය. පසුබට නොවන සුළුය. බැල්ම තීක්ෂණය. හදවත ලතෙත් ය. ඒ බව නොහඟවයි. එක් පුටුවකට, අසුනකට සීමා වී කතා කරමින් කල්මැරීමක් කිසි දිනක අප දුටුවේ නැත. ඇවිදිමින් ගමන් කරමින් සියලු පරිපාලන කටයුතු සිදුකළේ මනා සිහි කල්පනාවෙනි. පුදබිමෙහි සරල ගල් පඩියක් මත වාඩිවී යන එන දුර බැහැර ගැමියන් සමඟ කතාබහ කළේ පසුදින පුවත්පතකට ලිවීමට අවශ්‍ය තොරතුරු එක්රැස් කරමිනි. රටේ ආර්ථික අපහසුතාව, දරිද්‍රතාවය, දුරබැහැර සිට පැමිණෙන මිනිසුන්ගෙන් අසා විමසා දැනගත් උන්වහන්සේ රජය දැනුවත් කිරීමට පාලකයන්ගේ ඇස් ඇරවීමට නිතර මහන්සි ගත්හ. පුවත්පත්වලට ලිපි සැපයූහ. කෙටි, සරල වචන තුළින් කාටත් කියැවීමට පහසු අදහස් ලිවීම විශේෂය.

ජාතික ආපදාවන්හිදී ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ කැපවීම ආදර්ශවත්ය. යුද සමයෙහි මායිම් ගම්මාන ලෙස සැලකූ අතිශය දුෂ්කර සිංහල ගම්මානවලට කෘෂි ආම්පන්න, කැත්ත උදැල්ල, වියළි ආහාර බෙදාදුන් අතර හමුදා සෙබළුන්ගේ අවශ්‍යතා පිළිබඳ සොයා බැලූහ. කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට අවශ්‍ය සියල්ල ගංගාරාමයෙන් පිළියෙල වූහ. නවම් මහා පෙරහැරට ලැබුණු මහජන ආධාර ලක්ෂ ගණනින් ජාතික ආරක්ෂක අරමුදලකට බැර කළහ. රට තුළ තරුණ අසහනය බුර බුරා නගින විට පාසල් හැර යන තරුණ තරුණියන් ඒකරාශිකොට ඔවුන්ගේ දෑත් ශක්තිමත් කිරීමට පොඩි හාමුදුරුවෝ වෘත්තීය පාඨමාලා, පරිගණක පාඨමාලා සකසා තරුණ අසහනය තුරන් කිරීමට සුවිශාල පරිශ්‍රමයක් දැරූ අයුරු අපට සිහිපත් වෙයි.

පොඩි හාමුදුරුවන් වහන්සේට සුබ උපන් දිනයක් වේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.

(පෙර ලියූ ලිපියකිනි)

අවිස්සාවේල්ල කොටහැර ශ්‍රී
රාජගිර විහාරාධිපති රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී, කොළඹ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක,
මාදොල නන්දරතන ස්ථවිර

advertistmentadvertistment
advertistmentadvertistment