පොලිස් පුරප්පාඩු 21422ක් – ඇමැති ටිරාන් කියයි

94

ශ්‍රී ලංකා පොලිසියේ සාමාන්‍ය සේවයේ දැනට පුරප්පාඩු 21422ක් පවතින බවත් ලබන වසරේ දී (2024) පොලිස් නිලධාරීන් පන්දහසක් බඳවා ගන්නා බවත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 13 දා) පැවසීය.

ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මේ බව කී ඇමැතිවරයා මෙසේ ද කීවේය.

අධිවේගී මාර්ග පද්ධතියේ ගිනි නිවීම් සහ ජීවිත ගලවා ගැනීමේ රාජකාරී කටයුතු කරන විශේෂ කාර්ය බළකා භටයන් ඉවත් කිරීමට පියවර ගත්තා. ඊට හේතුව වන්නේ විශේෂ කාර්ය බළකාය අධිවේගී මාර්ගයේ සිදු කරන රාජකාරි වන්නේ රිය අනතුරක් සිදුවූ අවස්ථාවක ක්‍රියාත්මක වීම සහ ගින්නක් ඇති වූ විට ඒ පිළිබඳ කටයුතු කිරීම පමණක් වීමයි. පසුගිය මාස එකොළහක කාලය තුළ එලෙස සේවයේ යොදා ගැනීම් සිදුකර ඇත්තේ අවස්ථා 164ක දී පමණයි.

එම ස්ථානවල සේවයේ යොදා ඇති විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 175දෙනෙකු සඳහා වසරකට රුපියල් මිලියන 260ක පමණ වියදමක් දරනු ලබනවා. හදිසි අනතුරක දී ක්‍රියාත්මක වීම හැර ඔවුන්ට විශේෂ රාජකාරියක් පැවරෙන්නේ නැහැ. මේ වනවිට පවතින මත්කුඩු මාෆියාව මර්දනය සඳහා විශේෂ කාර්ය බළකාය අපට අවශ්‍යයි. ඒ සඳහා දැනටමත් කාර්යමණ්ඩල සාමාජිකයින් 2300ක පමණ හිඟයක් පවතිනවා. ඒ පිළිබඳව ද සලකා බලමින් මෙම සාමාජිකයින් 175 මෙලෙස ඉවත් කර ගැනීමට පියවර ගත්තා. ශ්‍රී ලංකා පොලිසියේ දැනට සාමාන්‍ය සේවයේ පුරප්පාඩු 21422ක් , විශේෂ කාර්ය බළකායේ පුරප්පාඩු 2345ක් පවතිනවා. පොලිසියට නව නිලධාරීන් 5000ක් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.
අකිත පෙරේරා- රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment