අධික වර්ෂාවෙන් ගංගා ජලාශ කටටම පිරිලා – වාරිමාර්ග අධ්‍යක්‍ෂ

241

පිහිනීම – ඔරු පැදීම අවදානම්!

පවතින වර්ෂාපතනයත් සමඟ ගංගා සහ ජලාශ රැසක ජල මට්ටම ඉහළ ගොස් ඇති නිසා එම ජලාශවල පිහිනීම, ඔරු පැදීම වැනි කටයුතු සිදුකිරීමෙන් වළකින ලෙස, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්. වී. සී. සුගීෂ්වර (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මහඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට අධික වර්ෂාපතනයක් ලැබීම නිසා අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහඔය නිම්නයේ පහත් බිම්වලට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් එම පහත්බිම්වල ජනතාවට අවධානයෙන් කටයුතු කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී. මීට අමතරව එම ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටව පවතින බවත් එවැනි මාර්ගවල වාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසත් සුගීෂ්වර මහතා රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

මීට අමතරව කැලණි ගඟ, දැදුරු ඔය ඇතුළු ජලාශ කිහිපයක ද ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා පැවසීය.

අධික වර්ෂාව හේතුවෙන් වාරි ජලාශවල සමස්ත ජල මට්ටම සියයට 65 දක්වා වැඩි වී ඇති බවත්, මහවැලි ජලාශවල එම ජල මට්ටම සියයට 75 ක් දක්වා වැඩි වී ඇති බවත් ඒ මහතා කීය.

විදුලිබලාගාරවලට අයත් මාවුස්සාකැලේ, කාසල්රී ජලාශ සියයට 95 දක්වාත්, සමනල වැවේ ජල මට්ටම සියයට 75 දක්වාත් වැඩි වී ඇති බවත් ඒ මහතා කීය. එහෙත් අම්පාර සේනානායක සමුද්‍රයේ ජල මට්ටම සියයට 27 ක්, අනුරාධපුර හුරුළුවැවේ ජල මට්ටම සියයට 30 ක්, මාදුරුඔයේ ජල මට්ටම පහළ මට්ටමක පවතින බවත් එම ජලාශවල ජලය භාවිතා කරන පිරිස් අරපිරිමැස්මෙන් ජලය පාවිච්චි කරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment