විජයදාසගේ ඉල්ලීම ගැන ඉදිරි පියවර සාකච්ඡාවට අධිකරණ සේවා සංගමය රැස්වෙයි

218

සිය සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පාර්ලිමේන්තු ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවන ලෙසට පසුගිය 25 වැනිදා අධිකරණ අමාත්‍යවරයා විසින් කථානායකවරයාගෙන් ලිඛිතව කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට කැඳවා තිබූ ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ මහ සභා රැස්වීමක් ඊයේ (30දා) පෙරවරුවේ කොළඹ දිසා අධිකරණයේදී පැවැත්විණි.

පුරා පැය තුනකට ආසන්න කාලයක් පැවැති එම මහ සභා රැස්වීමට එම සංගමය නියෝජනය කරන දිවයින පුරා පිහිටි දිසා අධිකරණවල හා මහෙස්ත්‍රාත් අධිකරණවල රාජකාරි කරන දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරු 250කට ආසන්න පිරිසක් සහභාගි වී තිබේ.

පාර්ලිමේන්තුවේ පැවැති විවාදයක් අතරතුරදී අධිකරණ අමාත්‍යවරයා විසින් අධිකරණ පද්ධතිය විවේචනය කරමින් සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳව පසුගිය 24 වැනිදා ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ සභාපති කෑගල්ල දිසා විනිසුරු රුවන් දිසානායක මහතාගේ හා එම සංගමයේ මහ ලේකම් ගාල්ල මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කොට තිබිණි. සමස්ත අධිකරණ පද්ධතියටම බලපෑම් වන පරිදි අධිකරණ අමාත්‍යවරයා එම විවේචනයන් අසත්‍යයෙන් සත්‍ය වෙන් කර නොගෙන සිදුකර ඇති බවත් දේශපාලන වශයෙන් තමන්ගේ පැවැත්ම අභියෝගයට ලක්කළ නඩුකරයන්වලදී අධිකරණ විසින් නීතියට අනුකූලව නිකුත් කළ තීන්දු හා නියෝගවලින් අතෘප්තියට පත්වීම මතම සැලසුම්සහගතව කරන ලද බවක් දක්නට ලැබනේනේ යැයි ශ්‍රි ලංකා අධිකරණ සංගමය එකී නිවේදනය මගින් පෙන්වා දී තිබිණි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය නිකුත් කළ දිනට පසුදිනම එනම් ජුනි 25 වැනිදා ලිඛිතව කථානායකවරයා වෙත ලිපියක් යොමු කළ අධිකරණ අමාත්‍යවරයා එකී නිවේදනය නිකුත් කළ ශ්‍රී ලංකා අධිකරණ සංගමයේ සභාපති දිසාවිනිසුරු රුවන් දිසානායක මහතා හා මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා පාර්ලිමේන්තු ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කොට තිබිණි.

සිය සංගමයේ සභාපතිවරයා හා ලේකම්වරයා පසුගිය 24 වැනිදා නිකුත් කර ඇති නිවේදනයට අත්සන් තබා ඇත්තේ ඔවුන් දෙදෙනා පෞද්ගලික මතයකට නොවන බැවින් ඔවුන් දෙදෙනාට එරෙහිව පැනනඟින ඕනෑම කටයුත්තකදී සියලු සාමාජිකයන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට ද එම රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment