ශ්‍රී ලංකාව දඩයක්කරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ගන්න සාමූහිකව වැඩකරමු

85

ජාජබ නායක අනුර දිසානායක මෙල්බර්න් නුවර ජන හමුවකදී කියයි

අපේ රට ගමන් කරමින් තිබෙන විනාශකාරී මාවතෙන් මුදා ගැනීමේ සත්කාර්යයට මැදිහත් වුණා කියලා ඉතිහාසයේ හැමදාමත් ජයග්‍රාහී මතකයක් එක්ක ඔබට සතුටු විය හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමට ඇපකැප වෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර පැවති ජන හමුවකදී කියා සිටියේය.

විශාල ජන සහභාගීත්වයකින් ජන හමුවට එක් වෙමින් වැඩිදුරටත් කතා කළ ඒමහතා මෙසේද කියා සිටියේය.

මෙතනට රැස්වී සිටින විශාල පිරිසක් පසුගිය ඡන්දවලදී ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමටත්, පොහොට්ටු ආණ්ඩුවක් පිහිටුවීමටත් ඡන්දය දුන් අය බව අපි කවුරුත් දන්නවා. ඒ කිසිවෙකුත් තමන්ට පෞද්ගලිකව කිසිදු වරප්‍රසාදයක් අපේක්ෂා කරනවා වෙනුවට අපේ රටත් ජනතාවත්, මුහුණ දෙමින් සිටින අර්බුදයෙන් ගොඩගනිවි කියන විශ්වාසයෙන් ඡන්දය දුන්නේ. ඒ නිසා ඔබ කිසිසේත්ම වැරදි නැහැ. ඔබට ඉතාමත් හොඳ අපේක්ෂාවක් තිබුණා. එහෙත් ඔබගේ බලාපොරොත්තුවත් අපේක්ෂාවත් නොවෙයි පාලකයාට තිබුණේ. අර්බුද මධ්‍යයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ කියා තිබුණේ ‘මට නඩු ගොඩක් තිබුණා. දැන් නඩු ඔක්කෝම ඉවරයි’ කියලා. ඔබගේ අපේක්ෂාවේ තිබුණේ නීතියේ හා විධානයේ ආධිපත්‍යය සහිත රටක්. සෑම කෙනාටම නීතියේ සාධාරණත්වය පිළිබඳ අපේක්ෂාවක් තිබුණා. පාලකයාට තිබුණේ නීතියේ උගුලට හසුවීමෙන් ගැලවීමේ අපේක්ෂාව. ඔබට යහපත් අපේක්ෂාවක් තිබුණා. ඔවුන්ට අයහපත් අපේක්ෂාවක් තිබුණා. ඒ නිසා අපේ රටේ ගොඩනැගෙන්න වුවමනා ජනතාවගේ අපේක්ෂාව, බලාපොරොත්තුව සහ අරමුණ තිබෙන පාලනයක්. ඔබට අපේ රට පිළිබඳවත් ජනතාව පිළිබඳවත් තිබෙන බලාපොරොත්තුව හා සමානම ලෙස බලාපොරොත්තුවක් අපට තිබෙනවා. ජාතික ජන බලවේගය වටා එක්වීමෙන් ඔබට කිසිසේත්ම පසුතැවෙන තත්වයක් නිර්මාණය කරන්නේ නැහැ. මේ රට ගමන් කරමින් තිබෙන විනාශකාරී මාවතෙන් මුදා ගැනීමේ සත්කාර්යයට මැදිහත් වුණා කියලා ඉතිහාසයේ හැමදාමත් ජයග්‍රාහී මතකයක් එක්ක සතුටු විය හැකිවේවි.

රට ස්වෛරීභාවය ස්වාධීනත්වය රඳා පවතින්නේ ඒ රට කොතරම් ආර්ථික අතින් ශක්තිමත්ද කියන සාධකය මතයි. ජනගහනය, රටේ විශාලත්වය, හමුදාවේ ප්‍රබලත්වය යන හැම දේටම වඩා රටක ආර්ථික ශක්තිමත්භාවය වැදගත්. ලෝකයේ ඕනෑම රටක් තවත් රටක් ඉදිරියේ පිළිගැනීමට ලක් වන්නේ ඒ රට මොනතරම් ආර්ථික අතින් ශක්තිමත්ද කියන සාධකය මත. ඔබ අප්‍රිකානු කලාපයේ රටක් තෝරා නොගෙන ඕස්ටේ්‍රලියාවට එන්න තෝරාගත්තේ ඒ නිසයි; ලෝක ආර්ථිකයේ 13වැනි ස්ථානයේ ඕස්ටේ්‍රලියාව තිබෙන නිසයි. අපේ රටේ පාලකයන් දීර්ඝ කාලයක් තිස්සේ රටක ඉදිරියේ තිබෙන සියලු‍ම පන්නයේ විනාශයන් සිදුකොට හමාරයි. මේ මොහොතේදිත් හෘද සාක්ෂියක් තිබෙන, ඇස් පෙනෙන, මිනිසුන් හැටියට අතිශය තීරණාත්මක අවස්ථාවක අපි හමුවේ සිටිනවා. ඔබගේ ඉදිරිපත් වීම අපට ධෛර්යයක් සපයනවා.

අපේ ආර්ථිකය රට තුළ වියදම් කිරීම සඳහා රුපියල් අවශ්‍ය ප්‍රමාණයක් නොලැබීමත්, විදෙස් ගනුදෙනු සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නොලැබීමත් කියන ප්‍රධාන ආර්ථික ප්‍රශ්න දෙක පවතිනවා. වසර කිහිපයක් රජය උපයා ගත් ආදායම, ණය පොලී වාරික ගෙවීමටවත් ප්‍රමාණවත් වුණේ නැහැ. ඕනෑම රටක රජයේ ආදායම්වලින් 90%ට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ බදුවලින්. රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම මත පනවන බදුවලින්

භාණ්ඩාගාරයට ආදායම් ලැබෙනවා. නමුත් ලංකාවේ ඒ සඳහා ප්‍රමාණවත් තරම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ නැහැ. දශක ගණනාවක් තිස්සේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ආර්ථිකයක් අපි ගොඩනඟා ගත්තේ නැහැ. අපිට ඉතාමත් යටින් තිබුණු දකුණු කොරියාවේ ආර්ථිකය අද ඩොලර් බිලියන 1800යි. ගිය වසරේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 77යි. ඊටත් 100% ක් බද්දක් ගැහුවොත් භාණ්ඩාගාරයට ලැබෙන්නේ ඩොලර් බිලියන 100යි. රටට අවශ්‍ය ඩොලර් උපයා ගන්න අද තිබෙන්නේ වෙනස් වූ ලෝකයක්. වේගයෙන් කිට්ටුවෙමින් තිබෙන ලෝකය තුළ කිසිදු රාජ්‍යයකට වෙනම ජීවත් වෙන්න හැකියාවක් නැහැ. අනාගතයේ එහෙම වෙන එකකුත් නැහැ. ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතින්නේ එකට වෙලී තිබෙන ලෝකයේ වෙළඳපොළෙන් අපි අත්පත් කර ගන්නා ප්‍රමාණය අනුවයි. 1977දී ලෝකයේ ඩොලර් 200ක වෙළඳාමක් සිදුවෙන කොට ලංකාවට ඩොලර් 01ක් ආවා. අද ලෝක වෙළඳාමෙන් අපේ පංගුව 0.05%යි. ලංකාවට එක ඩොලරයක් එන්නේ ඩොලර් 2000ක වෙළඳාමක් වුණොත්. ඉතා වේගයෙන් කිට්ටුවෙමින් තිබෙන ලෝකයේ අපේ පංගුව රැකගන්න අපි අසමත් වුණා.

දීර්ඝ කාලයක් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට ජාතික ජන බලවේගය නව ආර්ථික උපාය මාර්ගයක් හඳුන්වාදී ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපේ රටේ පවතින දේශපාලන සංස්කෘතියත් වෙනස් කරන්න ඕනෑ. සමහර ව්‍යාපෘති සිදුවෙන්නේ අපේ රටේ අවශ්‍යතාවයට නොව ඒ අවස්ථාවේදී දේශපාලකයාට ලැබෙන කොමිස් කුට්ටිය මතයි. අද අපේ රටට කිසිදු පිරිසිදු ආයෝජකයෙක් එන්නේ නැහැ. මුදල් ආයෝජනය කිරීම සඳහා යෝග්‍ය ආයෝජන ප්‍රභවයන් නිර්මාණය නොකිරීමත් දූෂිත දේශපාලනයේ ගොදුරක් බවට රාජ්‍ය යාන්ත්‍රණය පත්කිරීමත් නිසා පිරිසිදු ආයෝජකයන් එන්නේ නැහැ. නමුත් ඉන්දියාවට, චීනයට අවශ්‍ය ආර්ථික දේශපාලනික උපාය මාර්ග අනුව වරායවල් පෝර්ට්සිටි අරගෙන එනවා. ඒ ආර්ථික උපාය මාර්ග අපේ රටට ගැලපෙන්නේ නැහැ.

ඇමතිවරයා අද පුටුවේ වාඩිවෙන්නේ දවසේ ආදායම කොපමණ හොයනවාද කියලා. ඇමතිවරයා අත්සන ගහන්නේ යම් ආයෝජකයෙක්ගේ ආදායමෙන් පංගුවක් තමන්ටත් අයිති බව සිතමින්. අපි කාටත් දේශපාලනය පිළිකුල් බවට පත්කළ මේ දේශපාලන පොරපිටිය අපි පිරිසිදුභාවයට පත්කරනවා. ඒ වෙනුවෙන් අපි අලු‍ත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගන්නවා. අපේ රටේ 1978 සිට අවුරුදු 45ක් විධායක ජනාධිපති ක්‍රමය යටතේ ඔප්පු කර තිබෙන්නේ පාලකයන් එම පුටුවේ වාඩිවෙන්න සුදුසු නැති බවයි. විධායක ජනාධිපතිවරයාට සිරගත කළ කෙනෙක් නිදහස් කිරීමේ අවස්ථාව දී තිබෙනවා. යම් අවස්ථාවක අධිකරණයට ඉදිරිපත්වන සාක්ෂි මත සිරදඬුවම් නියම කළ තැනැත්තෙකු සම්බන්ධයෙන් පසුව වෙනත් සාක්ෂි හෙළිවීමෙන් නිදොස් වී සිටී නම්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා අදාළ කරුණු මත නිදහස් කිරීමේ අවස්ථාව තිබෙන්න ඕනෑ. නමුත් අපේ රටේ සිදුවී තිබෙන්නේ කුමක්දැයි මෛත්‍රීපාල සිරිසේන ප්‍රසිද්ධියේ කීවා ‘රතන හාමුදුරුවන්ගේ ඇවිටිලි කිරීම නිසා රෝයල් පාර්ක් මිනීමැරුම දඬුවම් ලබපු තැනැත්තා නිදහස් කළ බව. “මම නම් සල්ලි ගත්තේ නැහැ. උන්වහන්සේ ගත්තාද දන්නේ නැහැ” යනුවෙන් ප්‍රසිද්ධියේ කීවා. ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති පුටුවේ වාඩි වෙන අවස්ථාවේ ඇන්.එම්. පෙරේරා මහතා කීවේ “මේ පුටුවේ පිස්සෙක් වාඩිවුණොත් මොකක් වෙයිද?” කියලා. තනි මිනිහෙක් අත විශාල දේශපාලන අධිකාරී බලයක් තබාගෙන සියල්ලන්ම යටත් කරගෙන සිටීම අපේ රටේ දේශපාලන සංස්කෘතිය විනාශ කරන්න විශාල වශයෙන් හේතු වුණා.

නීතිමය සහ භාවිතාවන්ගේ කටයුතු වෙනස් කර, දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. ඒ වගේම ධනය තිබෙන කෙනාටත් බලය තිබෙන කෙනාටත් වෙනස්ව නොසලකන අධිකරණය, යුක්තිය පසිඳලන බව ජනතාවට ඒත්තු යන ආකාරයට කටයුතු කරනවා. නීතියේ විධානය සහ ආධිපත්‍යය රටකට ඉතාම වැදගත් මූලධර්මයක්. මිනිසුන් තුළ අධිකරණ කෙරෙහි විශ්වාසයක් තහවුරු වෙන්න ඕනෑ. නීතියේ විධානය කඩා වැටුණාම සමාජයක් අශිෂ්ටභාවයට පත්වෙනවා. එය වෙනස් කරන බවට අපි ඔබට සහතික වෙනවා.

අපි බලය ලබාගැනීම වළක්වන්න ප්‍රධාන ක්‍රියාමාර්ග තුනක් වර්තමාන පාලකයන් අනුගමනය කරමින් සිටිනවා. ඔවුන්ට අනුව දේශපාලනය මාරාන්තික සන්ධිස්ථානයකට පැමිණ සිටිනවා. පාලනයේ සුක්කානම ජාතික ජන බලවේගයට දෙන්න ඕනෑ කියන තැනට ජනතාව පෙළගැසී සිටිනවා. මේ ප්‍රවාහය නතර කිරීමට මැතිවරණ සිතියම අකුළන්න උත්සාහ කරනවා. මොන සෙල්ලම් දැම්මත් ලබන අවුරුද්දේ ඔක්තෝබර් 18 වැනිදාට කලින් ජනාධිපතිවරණය තියන්න ඕනෑ. ඒ වෙනුවෙන් සැප්තැම්බර් මාසයේ ප්‍රචාර වැඩ කරන්න අගෝස්තු මුල නාම යෝජනා ගන්න ඕනෑ. ඔවුන්ට අදින්න පුළුවන් අවසාන ඉලක්කය ඒක. අපි එතනැට යන ගමන් ඊට පෙර මැතිවරණයක් ලබාගැනීමට කළ හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා. ඡන්දය කල්දැමුවාට පස්සේ අපි ගැටුමකට යන්නේ නැහැ. අපි මේ පිට්ටනියේ ජනතාවත් එක්ක සංවාද කරනවා. නැවත නැවත ජනතාව සංවිධානය කරනවා.

ඒ වගේම දෙවැනි පියවර හැටියට ඒගොල්ලෝ එකතු කළ හැකි සියලු‍ සංවිධාන එකතු කර ගනිමින් යනවා. අනික් පැත්තෙන් තුන්වෙනි පියවර හැටියට නැවත ජාතිවාදී හා ආගම්වාදී ගැටුමක් ඇති කරන්න උත්සාහ කරනවා. මේ ව්‍යායාමය පහසුවෙන්

කරගෙනයාමට ඒගොල්ලෝ ඉඩ දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට නැතිවෙන්නේ වර්තමාන ජනාධිපති ධුරය පමණක් නොවෙයි. අනාගත දේශපාලන බලයත් නැතිවෙනවා. ඒගොල්ලන්ගේ බලය අහිමි වීම ඒගොල්ලන්ට දේශපාලන වශයෙන් මාරාන්තිකයි. මේ තත්වය නිසා මේ රටවල ජීවත් වෙන ඔබ භුක්තිවිඳින ජීවන තත්වය ශ්‍රී ලංකාවේත් ගොඩනගන්න ක්‍රියාකරන ලෙස නැවත නැවතත් ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ට දැනුම් දෙන්න. ශ්‍රී ලාංකික ජනතාව වෙනස් ලෝකයක් දකිනවාට පාලකයො බයයි. අපේ රටේ විශාල ජනතාවක් වෙනස් ලෝකයක් අත් විඳිනවා. ලෝකයට ඇස් විවෘත වීම ඒගොල්ලන්ට භයානකයි. ඒ නිසාම විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන්ට විශාල ප්‍රහාරයක් එල්ල කරනවා. ශ්‍රී ලංකාව මේ දඩයක්කරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ගන්න අපි සාමූහිකව එක්වී වැඩකරමු.

advertistmentadvertistment
advertistmentadvertistment