අගහරුගේ පාෂාණවලට සමාන පාෂාණ සෙවනගලින් හමුවෙයි

808

පරීක්‍ෂණ සඳහා නාසාත් එක්වෙයි
අගහරුගේ ගිනිගල්පැලැස්ස ලෙස නම් කිරීම භූගර්භ විද්‍යාවට අනුවම වෙලා

අඟහරු ලෝකයේ ඇති පාෂාණවලට සමානකම් ඇති පාෂාණ විශේෂයක් ලංකාවේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගිනිගල්පැලැස්ස ගම්මානයේ ඇති බව ලංකාවේ භූ ගර්භ විශේෂඥයන් විසින් මීට පෙර සොයා ගෙන ඇති අතර භූ ගර්භ විශේෂඥ ආචාර්ය ප්‍රසන්න ලක්‍ෂිත ධර්මප්‍රිය මහතා පුමුඛ විශේෂඥ කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා ඇත.

අගහරුගේ පාෂාණවලට සමාන පාෂාණ සෙවනගලින් හමුවෙයි

මෙම ස්ථානයේ ‘සර් පෙන්ටීන්’ යන පාෂාණ විශේෂය ඇති අතර ඒ සම්බන්ධයෙන් සාම්පල් නියැදි ලබාගැනීමට හා එය තහවුරු කර ගැනීමට ගිනිගල්පැලැස්ස ගමට නාසා ආයතනය සහ තවත් රටවල් ගණනාවක් නියෝජනය කරමින් විශේෂඥයන් රැසක් පැමිණ පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. ඇමරිකාවේ ලුසියානා ස්ටේට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනිත් කරුණාතිලක මහතාගේ නායකත්වයෙන් ඉන්දියාව, ඇමරිකාව, චීනය සහ ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල එකතුව සහ තවත් භූගර්භ විද්‍යාඥයන් මෙම පරීක්‍ෂණ සඳහා එක්ව සිටිති.

අගහරුගේ පාෂාණවලට සමාන පාෂාණ සෙවනගලින් හමුවෙයි

මෙහිදී ගිනිගල්පැලැස්ස විහාරස්ථානය පිටුපසින් වනාන්තරයට ගොස් මේ පිරිස අධිසංවේදී උපකරණ භාවිත කරමින් මෙම පරීක්‍ෂණ ආරම්භ කර සාම්පල් ලබා ගැනීම සිදු කරන ලදී. දින කිහිපයක් මෙම පරීක්‍ෂණ සිදු කරන බවත් ඉදිරි දින කිහිපයේදී උස්සන්ගොඩ, ඉදිකොල පැලැස්ස සහ තවත් ස්ථාන කිහිපයකින් මේ ආකාරයෙන් නියැදි ලබා ගන්නා බවත් මෙම කණ්ඩායම කීහ. ඉන් අනතුරුව මෙම විද්‍යාඥන් පිරිස ගිනිගල්පැලැස්ස කීර්ති කුමාරපුර විද්‍යාලයට ගොස් මේ සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කරන ලදී.

ඇමරිකාවේ ලුසියානා ස්ටේට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනිත් කරුණාතිලක මහතා මෙසේ කියා සිටියේය.

අපි පරීක්‍ෂණ සඳහා සාම්පල් එකතු කරනවා. ඒවා වැඩිදුර පරීක්‍ෂණ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ අන්තර් ජාතික විශ්වවිද්‍යාල කිහිපයක් සහ නාසා ආයතනය සම්බන්ධ විශ්වවිද්‍යාල කිහිපයකට අරගෙන යනවා. අද අපි අධිතාක්‍ෂණික උපකරණ භාවිත කරමින් අධෝරක්ත කිරණ භාවිතයෙන් මොනවාද තිබෙන පාෂාණ කියන එක අපි මෙම ස්ථානයේදී විශ්ලේෂණය කරනවා.

අඟහරුවල සර්පෙන්ටීන් ඇතිවුණ ක්‍රමය හඳුනාගන්න අපිට අපේ පාෂාණ පිහිටීම, විශේෂයෙන් ගිනිගල්පැලැස්ස යන ස්ථානවල මේ පාෂාණ පිහිටීම, අනෙක් පාෂාණවලට අනුව පිහිටීම, උෂ්ණත්ව පීඩන ආදිය හඳුනා ගත්තාම යම් නිගමනයකට එන්න පුළුවන්.

මේක අපේ භූමියේ ස්භාවිකවම ඇති වුණ දෙයක්. වෙනත් ග්‍රහ ලෝකයකින් කඩා වැටුණයි කියල කියන්න කිසිම සාධකයක් ගිනගල් පැලැස්සේ පේන්න නැහැ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ආචාර්ය ප්‍රසන්න ලක්‍ෂිත ධර්මප්‍රිය මහතා – 2018 වර්ෂයේදී ඇමරිකාවේ ලුසියානා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනිත් කරුණාතිලක මැතිතුමාත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, මිත්තිකා විතානගේ මහාචාර්යවරියත් මූලික පර්යේෂණ කිහිපයක් සිදු කළා. ශ්‍රී ලංකාව ආශ්‍රිතව සර්පෙන්ටිනයිට් කියන පාෂාණය ස්ථාන කිහිපයක පමණයි තියෙන්නේ. ඒ ගිනිගල්පැලැස්ස, ඉදිකොළපැලැස්ස ඇතුළුව. මේ පර්යේෂණවල අරමුණ වුණේ දැනට අඟහරු ගවේෂණයේදී නාසා ආයතනය සොයාගෙන තියෙනවා යම් කිසි තොරතුරු ප්‍රමාණයක්. ඒ තොරතුරුවලින් ඔවුන් අනාවරණය කරගෙන තියෙනවා අපේ මේ ගිනිගල්පැලැස්ස ප්‍රදේශයේ තිබෙන පාෂාණ වර්ගයට සමාන පාෂාණයක් සහ ඒවා ජීර්ණය වීමෙන් පවතින පස අඟහරු ලෝකයේ තිබෙනවයි කියල.

ඔවුන් ඒ පර්යේෂණ පාදක කරගෙන මේ වසරේදී විශාල කණ්ඩායමක් වශයෙන් ඇවිත්, ඇමරිකාව, ඔස්ටේ්‍රලියාව, ඉන්දියාව, චීනය වැනි රටවල විද්‍යාඥයන් අද පැමිණ සිටිනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කැලණිය, ජයවර්ධනපුර, මොරටුව යන විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම වැඩ සටහන්වලට සහභාගි වනවා.

මෙම පරීක්‍ෂණවලින් අපි බලාපොරොත්තු වන්නේ සර්පෙන්ටීන් කියන පාෂාණයේ ඛණිජ වර්ග හඳුනාගැනීම. පසේ තිබෙන සංයුතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. ඒ හා සම්බන්ධ විද්‍යාත්මක තොරතුරු එක්රැස් කිරීමයි. අපි බලාපොරොත්තු වන්නේ මේ ලබාගන්නා දැනුමින් අඟහරු ග්‍රහයා පිළිබඳව තොරතුරු ඒකරාශි කරගෙන විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීමයි.

වසර දෙදහසේ සිට නාසා ආයතනයෙන් කරන ලද පර්යේෂණ රැසකින් ඔවුන් අනාවරණය කරගෙන තිබෙනවා දුරස්ථ පරීක්‍ෂණ වලින් අනාවරණය කරගෙන තියෙන්නේ ගිනිගල්පැලැස්සේ පාෂාණවලට අඟහරුගේ ඇති පාෂාණ සමාන බවක්ය.

මෙම පරීක්‍ෂණවලින් අනතුරුව නාසා ආයතනයෙන් හා පැමිණ සිටි විද්‍යාඥයන් පිරිස ගිනිගල්පැලැස්ස විද්‍යාලයට ගොස් එම විද්‍යාලයේ සිසුන් හා ගුරුභවතුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමද සිදු විය.
ඕමල්පේ – ප්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment